නිවහන අහිමි වූ දෙවිමිණීට ජනපති පුතුගෙන් සෙවණ


රත්නපුර අයගම පණ්ඩුකඳේ වත්තේ දෙව්මිණි දැරියට හා මවට නව නිවෙසක් ඉදිකරදීමට දහම් සිරිසේන මහතා ඉදිරිපත් වෙයි.

අග හිඟ කම් මැද වේල පිරිමසා ගනිමින් දෙව්මිනිගේ අධ්‍යාපනය ඉදිරියට ගෙන ගිය රෝගී මවට ගංවතුරට ගසාගෙන ගිය තම නිවෙස නැවත තැනීම සිහිනයක් පමණක් බව ඇයගේ මව මාධ්‍යයට කර තිබූ ප්‍රකාශය මාධ්‍යයෙන් දුටු සිරිසේන මහතා අද(15) එම ප්‍රදේශය නිරීක්ෂණය කර සුදුසු ස්ථානයක නිවෙසක් ඉක්මනින් ඉදිකර දෙන බවට දැරියගේ මවට පොරොන්දු විය.
 
දෙවිමිණී අධ්‍යාපනයට දක්ෂ දරුවෙකි.පන්තියේ පළවෙනි තැන ලබාගන්නා ඇය ලබන වසරේ ශිෂ්‍යත්ව විභාගයට පෙනීසිටීමට නියමිත ය.මෙම දියණිය මෙම වසරේ ශිෂ්‍යත්ව විභාගයේ ආදර්ශ ප්‍රශ්න පත්‍රවලට මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනීසිටින දරුවන් සමග එකට පිළිතුරු ලියා පාසලේ වැඩිම ලකුණුද ලබාගෙන ඇත. පියාද අහිමි දෙව්මිනිගේ මව ඇය පෝෂණය කරනු ලබන්නේ රෙදි මැසිමෙනි.
නිවෙස ඉදිකිරීමට ඉඩමක් ලබා ගැනීම සඳහා දහම් සිරිසේන මහතා අද කිරිඇල්ල නැඳුන් රජමහා විහාරස්ථානයේ නායක ස්වාමින්වහන්සේ හඳපාන්ගොඩ මහින්ද නායක ස්වාමින් වහන්සේ සහ හිටපු ශ්‍රීපාදස්ථානාධිපති හඳපාන්ගොඩ විමල නායක ස්වාමින්වහන්සේ මුණ ගැසී මේ පිළිබඳව සාකච්ඡා කළේය.

එහිදී නායක ස්වාමින් වහන්සේ රජයේ වැඩපිළිවෙළ යටතේ මෙම නිවෙස සාදනු ලබන්නේදැයි විමසූ අවස්ථාවේ දී දහම් සිරිසේන මහතා කීවේ රජයේ කිසිදු ප්‍රතිපාදනයක් ලබා නොගෙන තම හිතවතුන්ගේ ආධාර උපකාර ලබාගෙන මෙම දැරියට නව නිවෙසක් ඉදිකර දෙන බවයි.

ඉන්පසු නායක ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කළේ එම නිවෙස ඉදි කිරීම සදහා රජමහා විහාරස්ථානයට අයත් පර්චස් 20ක ඉඩමක් ලබාදීමට සූදානම් බවත් නිවෙස ඉදිකිරීමට මුල් ගල තබන දින එහි වැඩම කර සෙත් පිරිත් සජ්ඣායනා කිරීමට ස්වාමීන් වහන්සේ වැඩම කරන බවත් ය.