නිවුන් සංස්කෘතික සංදර්ශනය අගමැතිගේ ප්‍රධානත්වයෙන්


ජාති භේදයකින් තොරව සිංහල, දෙමළ, මුස්ලිම් මිනිසුන් එක ම රටක ඉපදුණු ආකාරයටම, නිවුන්නු වාගේ එකට සිතන, ජීවත්වන ශ්‍රී ලාංකිකයන් පිරිසක් දැකීම තම ප්‍රාර්ථනාව බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද(20) පැවසීය.

ශී‍්‍ර ලංකා නිවුන් සංගමය විසින් සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේ සංවිධානය කර තිබූ නිවුන් සංස්කෘතික සංදර්ශනයකට සහභාගී වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග‍්‍රාමාත්‍යවරයා මෙසේද පැවසීය.

‘‘මම ඉතා ආඩම්භර වෙනවා මේ වාගේ දැවැන්ත නිවුන් ප‍්‍රජාවක් එක තැනකට ඒකරාශී කිරීම ගැන. අද මෙතන නිවුන් ස්වාමීන් වහන්සේලා, මෙහෙනින් වහන්සේලා, නිවුන් පූජකතුමන්ලා, පූජකවරියන්, නිවුන් ආරක්ෂක නිලධාරීන්, නිවුන් වෛද්‍යවරු, හෙදියෝ සියලු දෙනා ඒකරාශී වෙලා තියෙනවා.

එකට උපන්නේ නැති වුණාට දේශපාලනයෙත් නිවුන්නු ඉන්නවා. දැන් පොහොට්ටුව, ශ‍්‍රීලනිපය, සමසමාජ පක්ෂය, කොමියුනිස්ට් පක්ෂය රට වෙනුවෙන් එකට ඉන්නේ. ඒ වාගේම සමහර දේශපාලන පක්ෂවල නම් කියපු ගමන් කෙනකුට තේරෙනවා ඒ ගොල්ලෝ අධිරාජ්‍යය ගැතියි කියලා. ඒගොල්ලොත් එකටමයි ඉන්නේ. ඒ දේශපාලන පක්ෂවල නම් කියපු ගමන් දන්නවා ඒගොල්ලෝ ආවොත් රට විකුණනවා, රට කඩනවා කියලා.

ඒ නිවුන්කම හැදෙන්නේ භාවිතයෙන්. ඒ නිසා ජාතික නිවුන් දිනයක් ප‍්‍රකාශයට පත් කරන්න  ඕනෑය කියලා අපෙන් ඉල්ලීමක් කරලා තියෙනවා. ඒ පිළිබඳ අපි අවශ්‍ය ක‍්‍රමවේදය අනුගමනය කරන්න බලාපොරොත්තු වෙනවා‘‘ යැයි අගමැතිවරයා පැවසීය.

නිවුන් සහෝදර සහෝදරියන් 25 දෙනෙකුගේ සහභාගීත්වයෙන් 1996 වර්ෂයේ පිහිට වූ ශී‍්‍ර ලංකා නිවුන් සංගමයේ වර්තමාන සාමාජිකයෝ 28000 ක් පමණ  සිටිති.

නිවුන් සහෝදර සහෝදරියන් 8004 කගේ සහභාගිත්වයෙන් ඉන්දියාවේ පැවැත්වුණු නිවුන් එකමුතුවෙන් වැඩිම නිවුන් එකමුතුව ලෙසගිනස් වාර්තා පොතට ශ්‍රී ලංකාවේ නිවුන් සංගමය එක්වී ඇත.

අද පැවැති මෙම සංස්කෘතික සංදර්ශනයට නිවුන් සහෝදර සහෝදරියෝ 12492 ක්  සහභාගී වූහ.

(ඡායාරූප - ඉෂාන් සංජීව)