නුවරඑළිය ශ‍්‍රී සුමනාරාම විහාරස්ථානයේ ධර්ම ශාලාව කඩාදමයි


(ෂෙල්ටන් හෙට්ටිආරච්චි )
නුවරඑළිය මහගස්තොට ශ‍්‍රී සුමනාරාම විහාරස්ථානයේ ධර්ම ශාලාව කිසියම් පිරිසක් විසින් කඩා දමා ඇතැයි එහි විහාරාධිපති ධම්මින්ද හිමියෝ අද (24) නුවරඑළිය පොලිසියට පැමිණිලි කළහ.

එම විහාරස්ථානය ආරක්‍ෂා කර දෙන ලෙස ඉල්ලා ප්‍රදේශවාසීහු ග්‍රෙගරි වැව පාලම අසලදී සාමකාමී උද්ඝෝෂණයක් කළහ.  

එම විහාරස්ථානයේ සංඝාවාස‍ය හා ධර්ම ශාලාව පිහිටා ඇති ඉඩම් කොටසට හිමිකම් කියන පුද්ගලයකු අදාළ ලියකියවිලි ඉදිරිපත්කොට ඇතැයි ද විහාරස්ථානයේ ධර්ම ශාලාව කඩා දමා ඇතැයි ද විරෝධතාකරුවෝ කියති. 

විහාරාධිපති හිමියන් විසින් පොලිසියට කරන ලද පැමිණිල්ල විමර්ශනය කර කඩිනමින් අධිකරණයට කරුණු දක්වන බව නුවරඑළිය පොලිසියේ සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපති නිශාන්ත බණ්ඩාර මහතා ප්‍රදේශවාසීන්ට දන්වා සිටියේය.