නුවරඑළියේ එළවළු ‌ගොවියෝ අසරණ වෙති


(ශාන්ත චන්ද්‍රසිරි)

නුවරඑළියේ උඩරට එළවළු වගාවේ නිරත ගොවීහු එළවළු අස්වැන්න අළෙවි කර ගැනීමට නොහැකිව දැඩි අපහසුතාවයට පත්ව සිටිති.

රට තුළ හා ආර්ථික වෙළෙඳ මධ්‍යස්ථාන වසා දැමීමත්, ඇදිරි නීතිය හමුවේ තොග ගැණුම්කරුවන් නොපැමිණීමත් හේතුවෙන් උඩරට එළවළු අස්වැන්න ගොවීන්ට විකුණා ගැනීමට නොහැකිවීමෙන් ඔවුන් මෙම තත්ත්වය පත්ව තිබේ.

අස්වැන්න නෙලිය යුතු අවධියේ පසුවන එළවළු වගාවන් මේ නිසා විනාශ වී යාමට පටන් ගෙන ඇති බවත්, අවස්ථාවෙන් ප්‍රයෝජනය ගන්නා ඇතැම් සීමිත වෙළෙන්දන් පිරිසක් ඉතාමත් අඩු මිළකට එළවළු ලබා ගැනීමට තැත් කිරීමත් හේතුවෙන් තමන් මේ වනවිට කබලෙන් ලිපට වැටුණු තත්ත්වයට පත්ව ඇතැයි උඩරට එළවළු ගොවීහු පවසති.

තම වගාබිම්වල සේවය කරන ලද කම්කරුවන්ටද මේ නිසා වැටුප් පවා ගෙවා ගැනීමට නොහැකිවීම නිසා ඔවුන් ඇතුළු ඔවුන්ගේ පවුලේ පිරිස්ද මේ වනවිට දැඩි ආර්ථික අපහසුතාවයන්ට ලක්ව ඇති බවත් ඔවුහු කියති.

ඇදිරි නීතිය හේතුවෙන් එක දිනකට වෙළෙන්ඳන් විශාල ප්‍රමාණයක් පැමිණෙන බවත්, එම දිනවලට එළවළු මදි වෙන බවත්, තවත් දවසකට ඔවුන්ගේ පැමිණීම අඩුවෙන් සිදුවන බැවින් එදාට එළවළු ඉතිරි වෙන බවත් ඔවුහු කියති.