පත්වීම් ලද - රැකියා නොලද උපාධිධාරීහු විරෝධතා අරඹති


(ඩී.ජී.සුගතපාල)

 

ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරි සංගමයේ ගාල්ල දිස්ත්‍රික්කයේ උපාධිධාරින් පිරිසක් රැකියා ලබාදෙන ලෙස ඉල්ලා ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට අද (10) පෙරවරුවේ විරෝධතාවයක් පවත්වන ලදී.

ඔවුන් කියා සිටියේ පසුගිය ජනාධිපතිවරණයට පෙර තමන්ට පත්විම් ලැබුණද මැතිවරණ කොමසාරිස්ගේ නියෝගයක් මත පත්විම් නතරකළ බවයි. මේ අතර අගමැතිවරයා ඉකුත් අප්‍රේල් 07 වන දින ප්‍රකාශයක් කරමින් නැවත උපාධිධාරින් රැකියා සඳහා කැඳවන බව ප්‍රකාශ කළත් එසේ සිදුවුයේ නැති බවද එනිසා උපාධිධාරින් රැකියාගත කිරීම සඳහා මැතිවරණ කොමිසම රජය හා සාකච්ඡාකර තීරණයකට එළඹිය යුතු බවත් විරෝධතාවට එක්වු උපාධිධාරිහු කියා සිටියහ.

පසුව විරෝධතාකරුවෝ ගාල්ල දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා හමුවි සංදේශයක්ද බාර දුන්හ.

එහිදි දිස්ත්‍රික් ලේකම්වරයා පැවසුවේ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය මගින් අභ්‍යාසලාභි උපාධිධාරින් 1580ක් පමණ ගාල්ල දිස්ත්‍රික්කයට එවා තිබු නමුත් මැතිවරණ කොමසාරිස්වරයාගේ නියමය පරිදි එම පත්වීම්  නතර කළ බවය. කෙසේවෙතත් මෙම ඉල්ලීම සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට දන්වා යවන බවද දිස්ත්‍රික් ලේකම්වරයා පැවසීය.

 

 

--------------------------------------------------------------------------------------------------------------------------------

බදුල්ලේ විරෝධය සෞඛ්‍ය උපදෙස් අනුව

(බදුල්ලේ පාලිත ආරියවංශ) 

රැකියා ලබා දී මැතිවරණ නීතිවලට අනුව  එම රැකියා නතර කිරීමට ලක්වූ  උපාධිධාරින් පිරිසක් හා රැකියා විරහිත උපාධිධාරින් පිරිසක්  බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදරිපිටදි කොවිඩ් 19  නිරෝධායන  සෞඛ්‍ය  උපදෙස් වලට අනුව පුද්ගල දුරස්ථභාවය තබා ගනිමින්  අද (10)  දහවල් නිහඬ විරෝධතාවයකට එක්ව සිටියහ.

රැකියා අහිමිවූ ව්‍යපෘති සහකාර එකමුතුව හා ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරින්ගේ සංගමය විසින් මෙම විරෝධතාවයන් සංවිධානය කර තිබිණ.