පල්ලියගොඩැල්ලේ පලු ගස් 15 ක් කපා දමයි


(ඩබ් ඒ පියතිලක)

සෝමාවතීය ජාතික උද්‍යානයට යාබදව ඇති පේරක කලාපයේ පල්ලියගොඩැල්ල මලල්ආරුව ප්‍රදේශයේ  වගාකරුවන් විසින් වසර 100ක් පමණ පැරණි පලු ගස් 15ක් පමණ කපා දමා කුට්ටි කර රැගෙන ගොස් ඇති බව උද්‍යාන භාරකරු  ඩබ්. එච්.  එල්. කේ. වාසල මහතා කීය.

සෝමාවතීය ජාතික උද්‍යානයේ භාරකරු  ඩබ්. එච්.  එල්. කේ. වාසල මහතා මේ සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළේය.

‘අපේ වනජිවී උද්‍යානයට අයත්  ස්ථානයක මේ දේ කලා නම්  එක මොහොතක්වත් යන්න කලින් මේ අපරාධය කරපු අය මේවන විටත් මහ උළු ගෙදර යවලා ඉවරයි. නමුත් අපිට අයත් ප්‍රදේශයක නෙවෙයි මේ අකටයුත්ත වෙලා තියෙන්නේ. සෝමාවතිය ජාතික උද්‍යානයට යාබදව ඇති පෙරක  කලාපයක වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ප්‍රදේශයක්. මේ පල්ලියගොඩැල්ල මලල්ආරුව ප්‍රදේශය භාරව කටයුතු කරන්නේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව. නමුත් ඒ අයගේ අවසරයක් නැතිව මේ වටිනා ගස් කපා විනාශ කරන්න බෑ. නමුත් මේ ප්‍රදේශයේ ගොවිතැන් කිරීමට අවසර ලබා දිලා තියෙනවා.’

‘ඒ දිලා තියෙන්නේ සෝමාවතීය ජාතික උද්‍යානයට  යාබදව ඇති පෙරක කලාපය තුළ එක් ප්‍රදේශයක් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත්ව තිබෙනවා. ඒ ප්‍රදේශයේ  වගා කරන අය තමයි මේ වසර සියක් පමණ විශාල ගස් කපලා කුට්ටි කරලා අරන් ගිහින් තියෙන්නේ.  ඒ ගස් තිබුණා කියලා කිසිම වගාකරුවකුටවත් වෙනත් අයටවත් කිසිම හානියක් නෑ. හරියටම කාන්තාරයක් වාගේ. මේ කිසිවකුගෙන් කිසිදු අවසරයක් නොමැතිව මේ විදියට ස්වභාව පරිසරය විනාශ කිරීම තුළින් මෙම වනාන්තරවල ජිවත්වන සතා සිව්පාවාට සේම මිනිසාටත් දැඩි ලෙස බලපැම් ඉදිරියේදී ඇති විය හැකියි.’