ප්‍රතිසංස්කරණය කළ රන් වියන දළදා වහන්සේට පූජා කෙරේ


( චමිල් රූපසිංහ)


මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ප්‍රතිසංස්කරණය කරන ලද රන් වියන දළදා වහන්සේ වෙත පූජා කිරීම ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

ජනපති අරමුදලේ රුපියල් ලක්ෂ 450 ක මුදලක් මෙම ප්‍රතිසංස්කරණය සදහා වැය කර ඇත.


හිටපු ජනපති ආර්.ප්‍රේමදාස මහතා විසින් 1987 වසරේදී මෙම රන්වියන දළදා වහන්සේට පූජෝපහාරයක් ලෙස පූජාකර ඇති අතර මීට පෙර රන් වියන 2002 වසරේදී ප්‍රතිසංස්කරණය කර ඇත.


මහනුවර ශ්‍රී දළඳා මාළිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා මෙම රන් වියනේ  රන්පත් දුර්වර්ණවී ගැලවී යාමේ තත්ත්වයක් මතුවීම නිසා මෙයට මාස අටකට පමණ ඉහතදී එය ප්‍රතිසංස්කරණය කරදෙන ලෙස රජයෙන් ඉල්ලීමක් කර ඇත.


මල්වතු අස්ගිරි උභය මහා විහාරීය මහ නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනමගේ අවවාද හා අනුශාසනා පරිදි රන් වියන ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩකටයුතු සිදු කළ  අතර එය දළදා වහන්සේට පූජා කිරීමේ අවස්ථාවට දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල,අමාත්‍යවරුන් වන ලක්ෂ්මන් කිරිඇල්ල,ගාමීණි ජයවික්‍රම පෙරේරා,විජයදාස රාජපක්ෂ,මධ්‍යම පළාත් ප්‍රධාන ඇමැති සරත් ඒකනායක, පළාත් සභා ඇමැතිවරුන් වන එදිරිවීර වීරවර්ධන. තිළිණ බණ්ඩාර තෙන්නකෝන්,මහනුවර පුරපති කේසර සේනානයක යන මහත්වරුද සහභාගි වූහ.