පෑලියගොඩට එළවළු ලැබීම සියයට 60 පහතට


(රංජන් කස්තුරි)

පෑලියගොඩ මැනිං පොදු වෙළෙඳපොළට එළවළු ලැබීම සියයට 60න් පමණ අඩු වී ඇතැයි මැනිං පොදු වෙළෙඳ සමිතියේ සභාපති එච්.එම්. උපසේන මහතා පවසයි.

පොහොර නොමැතිකම හේතුවෙන් ඇතැම් ගොවීන් එළවළු වගාව අතහැර දමා ඇති අතර වගාකරන එළවළු අස්වැන්න අඩුවීමත් නිසා එළවළු ලැබීම අඩුවී ඇතැයි ද ඔවුහු පවසති. 

මැනිං වෙළෙඳපොළට නුවරඑළිය, යාපනය, තංගල්ල, අකුරැස්ස, මහනුවර, මඩකළපුව,කඩුවෙළ, සහ දෙනියාය ඇතුළු දිවයිනේ එළවළු වගාකරන සෑම ප්‍රදේශයකින්ම එළවළු තොග ලැබෙන බව ද මේ දිනවල එම සෑම ප්‍රදේශයකින් ම ලැබෙන එළවළු ප්‍රමාණය සීඝ්‍රයෙන් අඩුවේගෙන යන බව ද උපසේන මහතා සඳහන් කරයි.

එළවළු මිලද අහස උසට ඉහළ ගොස් ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.

බෝංචි කිලෝව රුපියල් 550 - 600 අතර මිලකටත්, කැරට් කිලෝව 350 - 400 අතර මිලකටත් , ලීක්ස් කිලෝව රුපියල් 350 කටත් තක්කාල කිලෝව රුපියල් 500 - 600 අතර මිලකටත් රාඹු කිලෝව රුපියල් 200 - 250 ත් අතර මිලකටත් අලෙවි වූ බව ද උපසේන මහතා පවසයි.