පොල් රාජ්‍ය ඇමති පොල් ගසකට නැග පොල් කඩයි


(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

පොල්, කිතුල්, තල් ,රබර් වගා ප්‍රවර්ධන හා ආශ්‍රීත කාර්මික භාණ්ඩ නිෂ්පාදන , අපනයන විවිධාංගිකරණ රාජ්‍ය ඇමති අරුන්දික ප්‍රනාන්දු මහතා පොල් කැඩීමට යොදා ගන්නා උපකරණයක් යොදාගෙන ්සිය ඉඩමේ පිහිටි පොල් ගසකට නැග අද (18) පොල් කැඩනු ලැබීය.

මෙම පොල් කැඩීමේ උපකරණය වරකාපොල අංක 86 මැණික්කඩවල ප්‍රදේශයේ පදිංචි උපුල් කුමාර මහතා  විසින් නිර්මාණය කර ඇත.

පොල් කැඩිමේ උපකරණය  පොල් ගසට සවිකර පාද හා දෑත් ආධාරයෙන් ක්‍රියාත්මක කිරීමට හැකියාව ඇත.

මෙම උපකරණය නිපදවූ උපුල් කුමාර මහතා මේ පිළිබඳව මෙසේ පැවසීය.

         “ වසර 20 කට පෙර මම ඇස් දෙකෙන් දැක්කා පොල් කඩන අයෙකු ගසින් ඇද වැටී මරණයට පත්වනවා .එයින් මා කම්පා වී මේ ගැන විවිධ අවස්ථා වලදී පොල් ගසට නැගීමට උපකරණ කිපයක් හැදුවා.

නමුත් එයින් සාර්ථකම උපකරණය වුනේ මෙයයි .පොල් ගසට නගින පුද්ගලයාට කිසිම කරදරයක් නැතිව විනාඩි කිපයක් ඇතුළත පොල් කඩා දමා නැවත පහසුවෙන් පහළට පැමිණීමට හැකියාව ඇත.

මෙම උපකරණය සුදු යකඩින් නිෂ්පාදනය කර තිබෙන නිසා මල බැඳීමක් සිදුවන්නේ නැහැ .

ඒ සමගම පිරිමි පුද්ගලයින්ට පමණක් නොව කාන්තාවන්ටත් කිසිම බියක් නැතිව මේ උපකරණය ආධාරයෙන් පොල් කඩන්නනට හැකිවීම විශේෂත්වයකි.

මෙය අද දවසේ පොල් ඇමැතිවරයාට පළමු වරට ක්‍රියාත්මක කර පෙන්වා  ඉන්පසුව ඉදිරියේදී වෙළද පොලට හඳුන්වා දීමට කටයුතු කරනවා‘‘ යැයි ඔහු පැවසීය.

මෙම උපකරණය ආරක්ෂිත ක්‍රමවේද වලට අනුව නිපදවා ඇති බවත් උපකරණය ඉදිරියේදී වෙළඳ පොලට හඳුන්වාදීමට කටයුතු කරන   බවත් රාජ්‍ය ඇමතිවරයා පැවසීය.

=======================================================================================

(ඡායාරූප - හේමලතා ඩි හේවගේ)