බණපොතට ඉසුඹු දී කුඹුරට බසිති


(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

 

වසර ගණනාවක් තිස්සේ පුරන්ව තිබූ කුඹුරු යායක් අස්වැද්දීමට නාත්තන්ඩිය වීරහේන විහාරස්ථානයේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා මේ දිනවල  කටයුතු කරති.

විහාරස්ථානයේ විහාරාධිපති ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත නිවන්දම ධම්මිස්සර ස්වාමීන් වහන්සේගේ මඟපෙන්වීම හා අනුශාසකත්වයෙන් මෙය ක්‍රියාවට නැංවීම සිදුවේ.

 විහාරස්ථානය සතු  අක්කර දහයක පමණ කුඹුරු යායක් මෙසේ අස්වැද්දිමට කටයුතු කර  ඇති අතර මේ වන විට අක්කර තුන හමාරක් පමණ  එම ප්‍රදේශයේ මූලික බිම් සකස් කිරීම අවසන් කර තිබේ.

 විහාරස්ථානයේ භික්ෂුන් වහන්සේලා සහ එහි අධ්‍යාපනය හදාරන සිසුන් මේ  දිනවල කුඹුරුඅස්වැද්දීමේ කටයුතුවල නිරත වෙති.

දිවයින පුරා පිහිටි පුරන් කුඹුරු අස්වැද්දීමේ කටයුතු සිදු වන බවත් සෙසු අයටත් මේ සම්බන්ධව උනන්දුවක් උවමනාවක් ඇති වන අයුරින් මෙම වැඩසටහන ආරම්භ කිරීමට කටයුතු කළ බව විහාරාධිපති නිවන්දම ධම්මිස්සර ස්වාමීන් වහන්සේ පැවසූහ.