බලගොල්ලාගම සංහිඳේ කිරි ඉතිරීමේ මංගල්‍යය




වියළි කලාපයේ පුරාණ ගම්මානවල ජනතාව ඈත අතීතයේ සිටම තමන්ට හෝ තම පවුලේ කෙනෙකුට ඇතිවන කිසියම් අතුරු ආන්තරාවක් වළක්වා ගැනීමට නැතහොත් ඉදිරි යහපත් අරමුණක් සාර්ථක කර ගැනීමේ චේතනාවෙන් අයියනායක දෙවියන් උදෙසා බාරහාර වෙති.

එම බාර හාර නිදහස් කිරීමේ මංගල්‍යය හෙවත් ‘සංහිඳේ කිරි ඉතිරීමේ මංගල්‍යය‘ සෑම වර්ෂයකදීම, අගෝස්තු මාසයේ නියමකර ගත් දිනක වැව්තාවුල්ලේ රුක් සෙවනේ විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් චාරිත්‍රනුකූලව සිදු කෙරේ.

වයඹ පළාතේ පුත්තලම  කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ඉහළපුලියන්කුලම බලගොල්ලාගම ප්‍රදේශයේ ගම්වාසීන්ගේ බාරහාර නිදහස් කිරීමේ වාර්ෂික මංගල්‍ය හෙවත්  ‘සංහිඳේ කිරි ඉතිරීමේ මංගල්‍යය‘ අද (01) බලගොල්ලාගම වැවතාවුල්ලේ දී සිදුකෙරිණි.

මේ සඳහා විශාල පිරිසක් සහභාගි වී සිටි අතර බලගොල්ලාගම ප්‍රදේශයට  යාබද පුරාණ ගම්මාන වන මූණමල්ගස්වැව, පහළපුලියන්කුලම, මහගම, මැදගම ගම්මානවල  ජනතාවද නුදුරු ස්ථාන දෙකකදී ද අද දින මේ ආකාරයටම ‘සංහිඳේ කිරි ඉතිරීමේ මංගල්‍යය‘ සංවිධානය කර තිබුණි.

 



ඡායාරූප සහ විස්තර - කරුවලගස්වැව ජයරත්න වික්‍රමාරච්චි