බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාවට අයත් ‘මොන්ට්රොස්’ නෞකාව කොළඹ වරායට


 

 

බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාවට අයත් ‘මොන්ට්රොස්’ නෞකාව සුහද සංචාරයක් සඳහා අද (02) කොළඹ වරායට ‍සේන්දු විය. එහිදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව එම නෞකාව පිළිගන්නා ලදී.  
 
මෙම අවස්ථාව සඳහා නාවික හමුදා අධ්‍යක්‍ෂ නාවික මෙහෙයුම්, කොමදෝරු සංජිව ඩයස් මහතා සහ ශ්‍රී ලංකාවේ එක්සත් රාජධානියේ මහකොමසාරිස් කාර්යාලයේ නියෝජිතයෝ පිරිසක් සහභාගී වී සිටියහ.
 
‘මොන්ට්රොස්’  නෞකාවේ අණදෙන නිලධාරී වන කමාන්ඩර් කෝනර් ඕනේල් මහතා, බටහිර නාවික විධානය භාර ආඥාපති සහ රියර් අද්මිරාල් නිශාන්ත උළු‍ගේතැන්න මහතා හමුවිය. එහිදී  සමරු තිලිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.
 
දිගින් මීටර් 133 ක් වන  ‘මොන්ට්රොස්’ නෞකාව ටොන් 3610 ක ධාරිතාවයකින් යුක්ත වන අතර, එය නිලධාරීන් සහ නාවිකයන් 215 දෙනෙකුගෙන් යුත් මණ්ඩලයකින් ද සමන්විතය. 
 
සංචාරය නිමා කිරීමෙන් අනතුරුව හෙට (03) ‘මොන්ට්රොස්’  නෞකාව දිවයිනෙන් පිටත්වීමට නියමිතය.

(ඡායාරූප - නාවික හමුදා මාධ්‍ය අංශය)