බිග් බෑඩ් වුල්ෆ් පොත් ප්‍රදර්ශනය ඇරැඹෙයි


(හර්ෂණ තුෂාර සිල්වා)

                

බිග් බෑඩ් වුල්ෆ් පොත් ප්‍රදර්ශනය තෙවැනි වරටත් කොළඹ ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේ දී අද (17) ආරම්භ විය. බිග් බෑඩ් වුල්ෆ් ප්‍රදර්ශනය හෙට (18) සිට ලබන (28) වැනිදා දක්වා උදෑසන 10 සිට රාත්‍රී 10 දක්වා විවෘත වන අතර සති අන්තයේදී පැය 24ම විවෘතව පවතී.

 

දින 11 මුළුල්ලේ පවතින බිග් බෑඩ් වුල්ෆ් පොත් ප්‍රදර්ශනයේදී සියයට 50ත් 90ත් අතර වට්ටම් පිරිනැමේ.

සාහිත්‍ය, ඉතිහාසය, ඉංග්‍රීසි භාෂාව, ගෘහ නිර්මාණ ශිල්පය, විද්‍යාව, නව යොවුන්, ළමා ප්‍රබන්ධ, ප්‍රබන්ධ නොවන පොත් ආදී අංශ ගණනාවක් ආවරණය කෙරෙන ලෝ ප්‍රකට පොත් ප්‍රකාශකයන් හඳුන්වාදෙන පොත් ලක්ෂ 16ක් මෙවර බිග් බෑඞ් වුල්ෆ් පොත් ප්‍රදර්ශනයට එක්කර තිබේ.

මෙවර පොත් ප්‍රදර්ශනයට ඔග්මෙන්ටඞ් රියලිටි (augmented reality) පොත් එක් කර තිබීමද විශේෂත්වයකි.

ඔග්මෙන්ටඞ් රියලිටි තාක්ෂණයෙන් සමන්විත පොත් යනු, පොතේ තිබෙන ඡායාරූප යනාදිය ජංගම දුරකතනයකින්, ටැබ්ලට් පරිගණකයකින් තිරයකින් බැලූ විට ත්‍රිමාණ ආකාරයට සජීවීව එම ඡායාරූප යනාදිය පාඨකයන්ට පෙන්වීමට සැලැස්වීමය.

ප්‍රදර්ශනයට ඇතුළුවීම සඳහා කිසිදු මුදල් අය කිරීමක් සිදු නොකරන අතර අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමැතිය ඇතිව පොත් ප්‍රදර්ශනය පැවැත්වේ.

පොත් ප්‍රදර්ශනයට සමගාමීව ‘සෙන්ටර් ඔෆ් හෝප්’ සමඟ එක්ව පාසල් සිසු සිසුවියන්ට පොත් 500ක් පරිත්‍යාග කිරීමට ද බිග් බෑඩ් වුල්ෆ් පොත් ප්‍රදර්ශනයේ සංවිධායකයන් කටයුතු තිබේ. පොත් ප්‍රදර්ශනයට පැමිණෙන පාඨක ප්‍රජාවට ද ඊට දායක වීමෙන් පොත් ප්‍රමාණය වැඩි කිරීමට අවස්ථාව සලසා තිබේ.

පොත් ප්‍රදර්ශනයට පැමිණීමේ පහසුව උදෙසා බම්බලපිටිය බස් නැවතුම් පොළේ (කොළඹ විශාකා විද්‍යාලය අසළ) සිට බොරැල්ල බස් නැවතුම්පොළ දක්වා (ලංකා බැංකුව අසළ) නොමිලේ බස් සේවාවක්ද ආරම්භ කර ඇත. මෙම බස් සේවාව උදෑසන 8 සිට රාත්‍රී 8 දක්වා ක්‍රියාත්මක වේ.