බුද්ධංගල අභයභූමියේ වන සතුන්ට උහන ප්‍රා.සබෙන් ජලය


(වසන්ත චන්ද්‍රපාල)

 අම්පාර දිස්ත්‍රික්කයට පවතින දැඩි නියං තත්වය හේතුවෙන් බුද්ධංගල අභයභූමියේ වෙසෙන වන සතුන් දැඩි ජල හිඟයකට මුහුණ පා ඇති බවත්, උහන ප්‍රාදේශීය සභාවේ කාර්යමණ්ඩලය ඔවුන්ට ජලය සැපයීමේ වැඩසටහනක් ආරම්භ කර ඇති බවත් එහි සභාපති උපුල් ප්‍රියන්ත මහතා සඳහන් කරයි.
 
බුද්ධංගල අභයභූමිය තුළ වළවල් හාරා, ඊට ජලය යොදා සතුන්ට පානයකිරීමට සැලැස්වූ බවත්, දැනට රඳවා ඇති ජල රඳනවලින් මුවන්, වන අලින්, රිලව් වැනි සතුන් විශාල ප්‍රමාණයක් ජලය පානය කරන බවත්, ඒ මහතා පවසයි.
 
මේ සඳහා උහන පොලීසිය, උහන ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, අම්පාර වනජීවි කාර්යාලය සහ උහන ගුවන් හමුදා කාර්යාලය සහය දක්වති.
 
මේ සඳහා දිව්ලපිටිය එම්. එම්. සී. ආයතනයේ චමින්ද දරිජු මහතා  සහ මේරියන් සර්වියර් යන දෙපළ  විසින් ජල රඳවන 100ක්  ලබාදී ඇත.
 
අභය භූමිය තුළ තැන්පත් කරන ලද ජල රඳවනවලට උහන ප්‍රාදේශීය සභාවේ බවුසර මගින් ජල ලීටර් 9000 ක් ද , උහන ගුවන් හමුදා කඳවුරේ බවුසර් මගින් ජල ලීටර් 11,500 ක් ද, පොලිසිය සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බවුසර් මගින් ලීටර් 8,000 ක් ද යොදවා තිබේ.
 
දිනපතාම මෙම වතුර රඳවන සදහා ජලය සැපයීමට උහන ප්‍රාදේශීය  සභාව කටයුතු කරන බව පවසන උපුල් ප්‍රියන්ත මහතා වන සතුන්ගේ ජීවිතය බේරා ගැනීමට මීට සහයවන ලෙස ද ඉල්ලා සිටියි.