බෙලිඅත්තෙන් මාතර එන දුම්රියට මහ සෙනඟක්


(අනීෂා මානගේ)

 
ජනතා අයිතියට පත්වූ මාතර - බෙලිඅත්ත නව දුම්රිය මඟෙහි ගමන් කිරීමට සහ දුම්රිය ස්ථානය දැකබලා ගැනීමට විශාල ජනකායක් අද(09) පැමිණ සිටි ආකාරය දක්නට ලැබිණි.
 
මාතර සිට කතරගම දක්වා ඉදිවෙන නව දුම්රිය මාර්ගයෙහි පළමු අදියර වන මාතර සිට බෙලිඅත්ත දක්වා වන කොටස ඊයේ(08) ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ඇතුළු මැති ඇමතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි. 
 
ජනතා අයිතියට පත්වූ නව දුම්රිය මාර්ගයෙහි දුම්රිය ගමන් කිරීම පෙරේදා(07) දින සිට ආරම්භ කළ අතර ඊයේ(08) දහවල් වන විට දුම්රිය කිහිපයක් බෙලිඅත්ත දුම්රියපොළ දක්වා ගමන් කර තිබූ අතර බෙලිඅත්ත දුම්රිය ස්ථානයෙන්ද දුම්රිය කිහිපයක් ගමන් ආරම්භ කර තිබිණි.
 
බෙලිඅත්ත දුම්රිය ස්ථානයේ ප්‍රවේශපත්‍ර කවුළු අසළ දිගු පෝලිම් දක්නට ලැබුණු අතර දුම්රිය ස්ථානය දැක බලාගැනීමටද ප්‍රදේශවාසීහු විශාල පිරිසක් ඊයේ සිට බෙලිඅත්ත දුම්රිය ස්ථානය වෙත ඇදී එන ආකාරයද දක්නට හැකි විය. බෙලිඅත්ත දුම්රිය ස්ථානය දක්වා පැමිණි දුම්රියවලද විශාල ජනතාවක් බෙලිඅත්ත දක්වා පැමිණ බැස ගියහ.