බොරළු කැපීමේ ජාවාරමක් පරීක්ෂණයක් කරන්නැයි ඉල්ලයි


 

(කාංචන කුමාර ආරියදාස)

දඹුල්ල රන්දෙණිය ප්‍රදේශයේ රජයේ රක්ෂිත යකට  මායිම්ව පෞද්ගලික අයකුට අයිති බව කියන මහා කන්දක පවත්වාගෙන යන බොරළු කැපීමේ ක්‍රියාවලිය පිළිබඳව පරීක්ෂණයක් පවත්වා සිදුව ඇති පරිසර විනාශයට සහ බලපත්‍ර ලබාදීම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් කරන්නැයි රජයෙන් ඉල්ලා සිටින බව සිංහලේ අපි ජාතික සංවිධානයේ සභාපති ජඹුරේවෙල චන්දරතන හිමියෝ ඉල්ලා සිටිති.

මෙම ස්ථානයේ මහා පරිමාණයෙන් පරිසර විනාශයක් සිදුකරමින් සියලු බලපත්‍ර නීති උල්ලංඝනය කරමින් බොරළු කැපීමේ ක්‍රියාවලිය සිදු වෙන බවට  ප්‍රදේශවාසීන් සංවිධානය දැනුවත් කිරීම මත එහි ක්‍රියාකාරීත්වය සොයා බැලීම සඳහා පැමිණි අවස්ථාවේ උන්වහන්සේ මේ බව සඳහන් කළහ.

ජඹුරේවෙල චන්දරතන හිමියන් ඇතුළු කණ්ඩායම මෙම බොරළු කැපීමේ ක්‍රියාවලිය සිදු වන ස්ථානයට ගමන් කරන අවස්ථාවේදී විශාල ටිපර් රථ ප්‍රමාණයක් බොරු පටවා ගමන් කරන ආකාරයක් එම ස්ථානයේ තිබූ ඉපැරණි විශාල ගස් කොළන් කපා  දමා සුණුවිසුණු කර ඇති ආකාරය ද උන්වහන්සේ  ජනමාධ්‍යවේදීන්ට පෙන්වූහ.

එම ස්ථානයේ සිටි යුද හමුදාවේ සේවය කළ අයකු බව කියන අයෙකු පැමිණ කියා සිටියේ මෙම කන්ද අක්කර දෙකක පමණ ප්‍රමාණයක් තමාට සින්නක්කර අයිතියක් ඇති බව යි. පසුව චන්දරතන හිමියන් මෙවැනි විශාල ගස් කොලන් විලාස කිරීම සඳහා අවසර ලබාදී ඇත්දැයි ඔහුගෙන් ප්‍රශ්න කරන්නට වූහ.

එම අවස්ථාව වන විට ඔහු සතුව එවැනි කිසිදු ලියකියවිල්ලක් නොතිබුණු අතර පසුව සිංහලේ අපි ජාතික සංවිධානය ස්වාමීන් වහන්සේලා එම ස්ථානයේ සිදුවෙන මහා පරිසර විනාශය බලපත්‍ර නීති උල්ලංඝනය කිරීම ආදී සියල්ල නිරීක්ෂණයකට ලක් කරමින් කියා සිටියේ මෙහි දැඩි ගැඹුරු ස්වභාවයක් ආකාරයට වළවල් හාරා තිබෙන බවත් අනුරාධපුර මල්වතු ඔය ආරම්භ වන වන ලැහැබ සහ කන්ද මෙය බව ද උන් වහන්සේලා පෙන්වා දුන්හ.

විනාඩි හතළිස් පහක පමණ කාලයක් ගත කිරීමේ දී යුද හමුදාවේ බව කියූ පුද්ගලයා භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය මගින් ලබාදුන් අවසර පත්‍රයක් චන්දරතන හිමියන් වෙත ලබා දුන්නේය.පසුව උන්වහන්සේ එහි පනවා ඇති නියෝග  පනවා ඇති සියලුම නීති රීති මෙවන විටත් උල්ලංඝනය කරමින් මෙම ජාවාරමක් ලෙස සිදු කරන බව පෙන්වා දුන්හ .