භාවිතයෙන් ඉවත් කළ ධීවර යාත්‍රා - බස් රථ මුහුදේ තැන්පත් කිරීමේ ව්‍යාපෘතියක්


 


 

(එම් .සුසිල් ප්‍රියන්ත, සුගතපාල සහ කේ.ජී.ප්‍රේමතිලක)

මත්ස්‍ය වගාව වැඩි දියුණු කිරීමේ අරමුණින් භාවිතයෙන් ඉවත් කරන ලද ධීවර යාත්‍රා සහ බස් රථ  මුහුදේ තැන්පත් කිරීමේ ව්‍යාපෘතියක් අද  (27 ) පෙරවරුවේදී ධීවර රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් ගාල්ල ධීවර වරායේදී සිදු කෙරිණ.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහ ශ්‍රී ලංකා ධීවර දෙපාර්තමේන්තුවේ ව්‍යාපෘතියක් ලෙස මෙය ක්‍රියාවට නැංවුණු අතර එහි මුල් අදියර යටතේ අද (27) භාවිතයෙන් ඉවත් කරන ලද ලංගම බස් රථ 04ක් මුහුදු පතුලේ තැන්පත් කිරීම සිදුකෙරිණි.

සයුර නෞකාව මේ සඳහා ප්‍රයෝජනයට ගෙන තිබුණි. ගාල්ල ධීවර වරායේ සිට කිලෝමීටර් 03ක් පමණ දුර මුහුදේ මේ බස් රථ තැන්පත් කිරීම සිදු කෙරිණි. මේ  ආකාරයට ගාල්ල ධීවර වරාය පාදක කොට ගෙන  ඉදිරි දින කිහිපය තුළම භාවිතයෙන් ඉවත් කරන ලද බස් රථ හා ධීවර යාත්‍රා මුහුදේ තැන්පත් කරන බව ධීවර දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයකු කීවේය.

ගාල්ල ධීවර වරාය පාදක කොටගෙන මෙවැනි ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කළ පළමු අවස්ථාව මෙය වන අතර එය මෙරට තුළ ක්‍රියාත්මක කෙරුණු දෙවැනි අවස්ථාවයි. මීට කලින් පළමු වතාවට ත්‍රිකුණාමලය ධීවර වරාය පාදක කොට ගෙන මේ ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවිණි.