මන්නාරමේ ගැබිණි මව්වරු පාරට බසිති


(සිතුම්  චතුරංග)    

මාස ගණනක මන්නාරම මහ රෝහලේ ප‍්‍රසව හා නාරි ශෛල්‍ය විශේෂඥ්‍ය වෛද්‍යවරයකු නොමැතිවීමෙන් ගැබිණි මව්වරුන් මුහුණ දෙන ගැටලුවලට විසදුම් ඉල්ලා අද (8) ගැබිණි මව්වරුන් පිරිසක් රෝහල ඉදිරිපිට මාර්ගයේ බිම වාඩිවි විරෝධතාවක නිරතවූහ.

මන්නාරම මහ රෝහලේ සේවය කළ ප‍්‍රසව හා නරි ශෛල්‍ය විශේෂඥ්‍ය වෛද්‍යවරයා මාස පහකට ඉහතදී ස්ථානමාරුවීම් ගියද මෙතෙක්  විශේෂඥ්‍ය වෛද්‍යවරයකු ලබාදීමට කටයුතු නොකර ඇති බව විරෝධතාවයේ නිරත මව්වරු කියති.

විරෝධතාවයේ නිරත ගැබිණි මව්වරුන් පවසා සිටියේ ඇතැම් වෛද්‍යවරුන් මව්වරුන්ට උපදෙස් ලබාදෙන්නේ වවුනියාව හෝ යාපනය රෝහල් වෙත ගොස් විශේෂඥ්‍ය වෛද්‍යවරයාගේ පරීක්ෂා කිරීම් සිදුකරගෙන් එන ලෙසත්ය.

කිලෝමීටර 60 හෝ 70 ක් තමන් බස්රථ වලින් යාපනය, වවුනියාව රෝහල් සඳහා පැමිණිය යුතු බවත් එය ගැබිණි මව්වරුන්ට දැඩි අපහසුතාවක් බවද විරෝධතාවයේ නිරතවූවන් සඳහන් කරති.