මහ නාහිමි දේහය කොළඹ නිදහස් චතුරස්‍රයට වැඩම කරවති


(ඩයනා උදයංගනී)

විචිත්‍ර ධර්ම කථිකයාණන් වහන්සේනමක මෙන්ම සුපේෂල ශික්‍ෂාකාමී මහ තෙරනමක් වූ අපවත් වී වදාළ ගල්කිස්ස ශ්‍රී ධර්මපාලාරාමාධිපති, අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහ නාහිමියන්ගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව, ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ද සහභාගීත්වයෙන්, කොළඹ නිදහස් චතුරස්‍රයේදී අද (25) පස්වරුවේ ඇරඹිණි.

මහ නා හිමියන්ගේ ආදාහන පූජෝත්සවය පැවැත්වෙන අද (25) දිනය රජය විසින් ජාතික ශෝක දිනයක් ලෙස ද ප්‍රකාශයට පත්කර තිබිණි.

උන්වහන්සේට ගෞරව පිණිස කොළඹ නගරයම කහ පැහැති ධජයන්ගෙන් සරසා තිබිණි. මහ නා හිමියන්ගේ දේහය රැගත් ආදාහන පෙරහැර උන්වහන්සේ විහාරාධිපතීත්වය දැරූ ගල්කිස්ස ධර්මපාලාරාම විහාරස්ථානයෙන් අද (25) පස්වරු 1.30ට ගමන් ආරම්භ කෙරිණි. ඒ එම විහාරස්ථානයේදී සිදුකෙරුණු පාංශුකූල චාරිත්‍ර ඇතුළු ආගමික වතාවත්වලින් අනතුරුවය. මහ නා හිමි දේහය මලින් සැරසූ රන්සිවි ගෙයක් සහිත විශේෂ රථයක තැන්පත් කර පෙරහැරින් වැඩම කරවනු ලැබූ අතර ගල්කිස්ස ශ්‍රී ධර්මපාලාරාම විහාරස්ථානයෙන් පස්වරු 1.30 ට ගමන් ඇර්ඹූ රිය පෙරහර ගල්කිස්ස ශ්‍රී ධර්මපාල මාවත ඔස්සේ ගාලු පාරට පිවිස, දෙහිවල, වැල්ලවත්ත, බම්බලපිටිය, හැව්ලොක් පාර, තුම්මුල්ල හන්දිය, තර්ස්ටන් පාර, ජාතික කෞතුකාගාර හන්දිය, ඇල්බට් ක්‍රසන්ට්, නන්දා මෝටර්ස් හන්දිය ඔස්සේ නිදහස් වටරවුම, නිදහස් මාවත ඔස්සේ නිදහස් චතුරස්‍රයට ළඟා විය.

ඒ ආරක්ෂක අංශ සාමාජිකයින්ගේ ගෞරවය මධ්‍යයේය.

මහ නා හිමියන්ගේ දේහය රැගත් ආදාහන පෙරහැර කොළඹ නිදහස් චතුරස්‍රය වෙත පස්වරු 3.20ට පමණ ළඟා වූ අතර අනතුරුව දේහය තැන්පත් කෙරෙන විශේෂ පීඨිකාව වෙත වැඩම කරවනු ලැබිණි.

අනතුරුව දේහය වෙත යුද හමුදා ආචාරය දක්වමින් දේහය සිවු කොන මුර සෙබළුන් ස්ථානගත කිරීම සිදුකෙරිණි.

මහා සංඝරත්නය, කාදිනල්තුමන්, මැති ඇමතිවරුන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටිති.

(ඡායාරූප ළහිරු හර්ෂණ)