මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වෙනුවෙන් විරෝධතාවක්



 (හලාවත ඔගස්ටින් ප්‍රනාන්දු)

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් මේ දිනවල ආරම්භ කර ඇති වෘත්තිය සමිති ක්‍රියා මාර්ගයට වහාම මැදිහත් වී විසදුම් ලබාදී ඔවුන්ගේ  සේවය කොරෝනා මර්ධන කටයුතු සදහා යොදා ගන්නා ලෙසට රජයෙන් ඉල්ලමින් හලාවත ප්‍රදේශවාසීන් පිරිසක් හලාවත නගර මධ්‍යයේදී අද (25) දහවල් නිහඬ විරෝධතාවක නිරතවූහ.

වෙළඳ සැලක අපිරිසිදු ආහාර ද්‍රව්‍ය අලෙවි කරන විටත්, ඩෙංගු මර්දන කටයුතු ක්‍රියාත්මක කිරීමේදීත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට සියළු බලතල ලබාදී නීතිය ක්‍රියාත්මක කිරීමට ඉඩකඩ සලසා තිබේ. එනමුත් මාරාන්තික කොරෝනා වයිරසය මර්දන කටයුතු කිරීමේ දි මේ වනවිට ගැසට් කර ඇති නිවේදනය අනුව අවශ්‍යය බලතල ක්‍රියාත්මක කිරිමේදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඉවත් කිරීම හෙළා දකින අතර මේ සම්බන්ධයෙන් ආණ්ඩුව වහාම ඉදිරිපත්වී පියවර ගෙන එම කටයුතු ක්‍රියාත්මක කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වෙත බලය පවරන ලෙස විරෝධතාකරුවෝ සිය විරෝධය පල කළහ.