මහනුවර ඇසළ පෙරහර නිමාවට


(චමිල් රූපසිංහ)

මහනුවර ශ්‍රී දළඳා මාළිගාවේ ඇසළ පෙරහර මංගල්‍යයේ විශේෂ අංගයක් වූ දහවල් පෙරහර අද (04) පස්වරුවේ විදී සංචාරය කෙරිණි.

ගෙඩිගේ විහාරයෙන් පිටත්ව ශ්‍රී දන්ත ධාතු මන්දිරයේ පෙරහර කැටුව ඩී.එස් සේනානායක වීදිය , පන්සල පාර ඔස්සේ දේව වීදියෙන් රජ වීදියට හැරී මාළිගා චතුරශ්‍රයේ තෙවිටක් ප්‍රදක්ෂිණා කර උතුරු දිශාව බලා ශ්‍රී දළඳා මාළිගාවට ගෙවැදුණි.

ඉන් අනතුරුව මහනුවර ඇසළ පෙරහර සාර්ථකව අවසන් කළ බව දැක්වෙන පෙරහර සංදේශය දියවඩන නිලමේ ප්‍රමුඛ සතර මහ දේවාල බස්නායක නිලමේවරු පෙරහරින් මහනුවර ජනපති මන්දිරයට ගොස් ජනපතිවරයා වෙත පිළිගැන්වීය. පසුව ඇසළ පෙරහර මංගල්‍යය නිල වශයෙන් නිමාවට පත් විය.