මහර බන්ධනාගාරයේ රැඳවියෝ මුඛ ආවරණ මසති


(කවිතා සුබසිංහ) 

කොරෝනා වයිසරය  ව්‍යාප්ත වෙමින් පවතින අවස්ථාවක එහි ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා අවශ්‍ය සෞඛ්‍ය ආරක්ෂිත මුඛ ආවරණ නිෂ්පාදනය කිරීමට මහර බන්ධනාගාරයේ රැඳවියෝ මේ දිනවල කටයුතු කරමින් සිටිති.
 
මහර බන්ධනාගාරයේ වෘත්තිය පුහුණු පාඨමාලා යටතේ ක්‍රියාත්මක වන ඇගළුම් නිෂ්පාදන පාඨමාලාවේ නිරතව සිටින සිර දඬුවම් විඳින රැඳවියන්  විසින්  මහර බන්ධනාගාර අධිකාරි ජගත් චන්දන විරසිංහ මහතාගේ උපදෙස් හා මගපෙන්වීම යටතේ මෙම මුඛ ආවරණ නිෂ්පාදනය කිරීම ආරම්භ කර ඇති අතර බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් සපයන ලද අමුද්‍රව්‍ය ඒ සඳහා යොදා ගෙන ඇත.
 
ඒ අනුව මෙම නේවාසිකයින් විසින් නිම කරන ලද මුඛ ආවරණ ප්‍රථමයෙන්ම මහර බන්ධනාගාරයේ බන්ධනාගාරගතව සිටින නේවාසිකයින් වෙත ලබාදීමට කටයුතු කර ඇත.

රටටම අවශ්‍ය හිඟ මුඛ ආවරණ නිපදවීම සඳහා ද මහර බන්ධානාගාරයේ නේවාසිකයින් ක්‍රියා කරන අතර බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ටී.ජේ.ඩබ්ලිව් තෙන්නකෝන් මහතාගේ වැඩිදුර උපදෙස් මත එම කටයුතු ඉතා ඉක්මණින් සම්බණ්ධීකරණය කර රාජ්‍ය ආයතන සදහා මුඛ ආවරණ ලබාදීමට කටයුතු කරන බව මහර බන්ධනාගාර අධිකාරි ජගත් චන්දන විරසිංහ මහතා ප්‍රකාශ කළේය.