මැදිරිගිරියේ දැරියක් “මෛත්‍රී සීයා“ සොයා දුවයි


(මැදිරිගිරිය-චාපා මධුභාෂිණී)
“ වැවක් සමග ගමක් ” ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘතිය යටතේ කවුඩුල්ල මිරිස්හේන ගම සංවර්ධනය සදහා අළුතින් ඉදි කිරීමට නියමිත ප්‍රජා ශාලාවට මුල් ගල තැබීම සහ ධීවර ආම්පන් බෙදාදීම වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති උත්සව සභාවට ආ පුංචි දැරියක එකවරම  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැක ජනාධිපතිවරයා දෙසට දිව ගියේය.
මැදිරිගිරියප්‍රදේශයේ පදිංචි දනුල්‍යා නම් කුඩා දැරිය තම දෙමව්පියන් සමග මෙම උත්සවයට පැමිණ සිටියාය. ඇය ජනාධිපතිතුමා දැකීමෙන් පසු ” මෛත්‍රී සියා “ යයි කියමින් ජනාධිපතිවරයා දෙසට දිවගෙන යාමට සැරසුනත් ජනාධිපති ආරක්ෂකයෝ ඇයගේ ගමන් මග ඇහිරූහ.
සිද්ධිය දුටු ජනාධිපති සිරිසේන මහතා වහාම ඔහුගේ ආරක්ෂක අංශයට පැවසුවේ ඇයට පැමිණීමට ඉඩ දෙන ලෙසයි. ඇය ජනාධිපතිවරයා වෙත දිවවිත්  උකුලමත වාඩි වී සුරතල් වුවාය. පසුව ජනාධිපතිවරයා අසළට පැමිණි ඇය උත්සවය අවසන් වනතුරම ජනාධිපතිවරයා සමග සිටියාය.
දිළිඳුකම පිටුදැකීමේ වැඩසටහනට සමගාමීව ධිවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ සංකල්පයකට මෙම වැඩසටහන් පැවැත්වූ අතර එහිදී මිරිදිය ධීවරයින් සඳහා  බෝට්ටු ද බෙදා දුන්නේය. උතුරු මැදි ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න බණ්ඩාර, අමාත්‍ය මහින්ද අමරවීර  ඇතුළු පිරිසක සහභාගීත්වයෙන් මෙම උත්සවය පැවැත්විණි.