මිනිස් නරුමයෝ වන සතුන්ට කොරෝනා බෝකරයිද


(චාපා මධුභාෂිණී)

මළසිරුරුවලින් ඉවත් කරන විවිධ කොටස් සහ සත්ත්ව අපද්‍රව්‍ය විශාල වශයෙන් මින්නේරිය ජාතික වනෝද්‍යාන පරිශ්‍රයට මුදාහැරිම නිසා වනෝද්‍යානයේ සිටින සතුන්ගේ ජීවිතවලට දැඩි අවදානමක් පවතින බව වනෝද්‍යාන බාරකරුවෝ පවසති.

කොරෝනාවෙන් ආරක්ෂා වීම සඳහා පාවිච්චිකරන මුව ආවරණ විශාල වශයෙන් වනෝද්‍යානයේ දෙපාසට විසිකර දමා ඇති අතර වඳුරන් මෙන්ම රිලවුන්ද ඒවා අතපත ගෑම සිදු කරයි. අලි ඇතුන් පවා ඒව හෙඬෙන් ස්පර්ශ කළහොත් එම සතුනට ද වයිරසය ආසාදනය විය හැකි බව ප්‍රදේශවාසීහු පවසති.

කිලෝමීටර 14ක පමණ දුරක් හබරණ කැලෑව මැදින් හබරණ සිට පොලොන්නරුව දෙසට දිවෙන මෙම මාර්ගය දෙපසට නිරන්තරයෙන් සත්ත්ව අපද්‍රව්‍යසේම මළ සිරුරු එම්බාම් කිරීමේදී ඉවත් කරන විවිධ කොටස් මෙම රක්ෂිතයට මුදාහැර තිබියදී හමු වූ බව මින්නේරිය ජාතික වනෝද්‍යානයේ උද්‍යාන භාරකරු භාතිය මඩුගල්ල මහතා කියයි.

මින්නේරිය බටුඔය ප්‍රදේශයට යාබදව මීට මසකට පමණ ඉහතදී ඉස්සන්ගේ ඉවත දමන ලද හිස කොටස් ලොරියක පමණ ප්‍රමාණයක් මාර්ගය ආසන්නයේ දමා ගොස් තිබී හමු වූ බව ජාතික වනෝද්‍යානයේ නිළධාරියෙක් කියා සිටියේය.

මාළු අපද්‍රව්‍ය සහ ගොවිපල අපද්‍රව්‍ය නිරන්තරයෙන් මෙම හබරණ කැලෑ ප්‍රදේශයට බැහැර කරන බව ඒ මහතා වැඩිදුරටත් කීය.