මිනිසුන් ඈත් වෙද්දි පරිසරය ප්‍රබෝධයෙන් ඇළලෙයි


 

(ශාන්ත චන්ද්‍රසිරි)

කොරෝනා වයිරසය පැතිරීයාමේ අවධානම හේතුවෙන් මාසයකට අධික කාලයක් රට පුරා පැවැති ඇදිරි නීතිය හමුවේ දෙස් විදෙස් සංචාරකයන්ගෙන් හා ජනතාවගෙන් හුදකලා වු නුවරඑළිය, කන්දේඇල ජලාශය අවට පරිසර පද්ධතිය අන් කවරදාවටවත් වඩා සුන්දර ලෙස මේ දිනවල දැකිය හැකි බව උඩරට පරිසර සංගම් නිලධාරීහු පවසති.

නුවරඑළිය නගරයේ සිට හෝර්ටන්තැන්න වනෝද්‍යානය හා අඹේවෙල නවසීලන්ත සත්ත්ව ගොවිපල දැක බලා ගැනීමට දිනකට විශාල දෙස් විදෙස් සංචාරකයන් පිරිසක් ගමන් කරනු ලබන ප්‍රධානම මාර්ගයේ පිහිටි කන්දේඇල වනෝද්‍යානය, කන්දේඇල ජලාශය අවට පරිසර කලාපය සහ අඹේවෙල ගොවිපල ආශ්‍රීත ප්‍රදේශත් වෙනත් වසරවල අප්‍රේල් මාසයේදි දහස් ගණනක දෙස් විදෙස් සංචාරකයන් පිරිසක් නිරන්තරයෙන් සැරිසරණ ප්‍රදේශයක් බවද ඔවුහු පෙන්වා දෙති.

කන්දේඇල වනෝද්‍යානය හා කන්දේඇල ජලාශයත් අඹේවෙල නවසීලන්ත සත්ත්ව ගොවිපලත් අවට පරිසර කලාපය අධික වාහන ශබ්දයත්, වාහනවලින් පිට කරනු ලබන අධික දුමත්, විශාල පිරිසක් ගැවසීමෙන් හේතුවෙන් මෙසේ අන් කවරදාවටත් වඩා එම ප්‍රදේශ සුන්දර වී ඇතැයි උඩරට පරිසර සංගම් නිලධාරීහු පවසති.

රට තුල පැන නැගුන හදිසි තත්ත්වය හේතුවෙන් එම ප්‍රදේශය මසකට අධික කාලයක් මෙසේ ජනශූන්‍ය කලාපයක් බවට පත්ව තිබේ.