මියගිය අලිපැටවුන්ගේ සිරුරු 2ක්



(මනම්පිටිය නිමල් ජයරත්න)

පොළොන්නරුව වැලිකන්ද මහසෙන්පුර ප්‍රදේශයේ මහවැලි රක්ෂිතයක මීට දින දෙකකට පමණ ඉහතදී මියගිය  අලිපැටවුන්ගේ සිරුරු 2ක් අද (07) දහවල් සොයාගත් බව වැලිකන්ද වනජීවි කාර්යාලය පවසයි.

මහසෙන්පුර 44 කෙත් ඇළට නුදුරින් ඇති මහවැලි රක්ෂිතයක මෙම නිවුන් අලිපැටවුන් බිහිකර ඇති අතර එම පැටවුන් ඒ මොහොතේම මිය යන්නට ඇති බවට තමන් සැකකරන බව වැලිකන්ද ස්ථාන භාර වනජිවි නිලධාරි දිනේෂ් දිනුක මහතා අපකළ විමසීමකදී සඳහන් කළේය.

මෙවැනි නිවුන් අලිපැටවුන් බිහිකිරිම ඉතා දුර්ලභ අවස්ථාවක් බවත් එමෙන්ම එලෙස මිය යාමද අසන්නට ලැබෙන්නේ කලාතුරකින් බවත් දිනේෂ් දිනුක මහතා පැවසීය.

මේ පිළිබඳ ගිරිතලේ වනජිවි පශුවෛද්‍ය සමීර කලිඟුආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් පශ්චාත් මරණ පරික්ෂණ කටයුතු හෙට (08) සිදුකිරීමට නියමිතය.

අනතුරුව එය සැබවින්ම නිවුන් අලි උපතක්ද යන්න සොයා බලන බවත්, එලෙස මියයාමට හේතුව කුමක්ද යන්නත් සොයා බලා වනජිවි දෙපාර්තමේන්තුව දැනුවත් කරන බවද මේ පිළිබඳව පරීක්ෂණ සිදුකරන වැලිකන්ද වනජිවි නිලධාරීහු සඳහන් කරති.