මුතු පන්තිය මුහුදට දියවෙයි


(පුත්තලම - ජුඩ් සමන්ත)


පුත්තලම දිස්ත්‍රික්කයේ පිහිටි හුදකලා දූපත් අතරින් එක්ක වන ආරච්චිකට්ටුව - මුතුපන්තිය දූපත ක්‍රමයෙන් මුහුදට දිය වෙමින් පවතින බව දූපත් වාසීන් පවසයි.


ආනවිළුන්දාව රම්සා අභය භූමියට ආසන්යෙන් පිහිටා ඇති මෙම දූපත නැගෙනහිරින් හැමිල්ටන් ඇලටද බටහිරින් මහ මුහුදටද මැදිව පිහිටා ඇත.


පවුල් 150 ක් පමණ මෙම දූපතේ ධීවත් වන අතර ඒ සියළුම දෙනාගේ එකම ජීවන වෘත්තිය වී ඇත්තේ ධීවර කර්මාන්තයයි.ආනවිළුන්දාව කුරුළු අභය භූමියට දෙස් විදෙස් සංචාරකයින් පැමිණීමට පටන් ගැනීමත් සමග සංචාරක හෝටල් කීපයක්ද මේ වන විට මුතුපන්තිය දූපත තුල ඉදිවෙමින් පවතින බවක් දක්නට ඇත.


වසර කීපයක සිට මුතුපන්තිය දූපත මුහුදට බිලිවීමේ අවදානමක් තිබුණි.මේ සම්බන්ධයෙන් මාධ්‍ය මගින් විටින් විට හෙලි කිරීමත්,දූපත් වාසීන්ගේ දැණුම් දීමත් නිසා මුහුදු ඛාදනය අවම කිරීම සදහා ගල් වැට යෙදීමක්ද සිදු කර ඇත. නමුත් එම ගල් වැටි කීපයක්ද මේ වන විට මුහුදට ගසාගෙන යාමේ අවදානමක් මතුවී ඇති බව දූපත්වාසීන් කියයි.
මුතුපන්තිය දූපතේ අඩි 50 කට වැඩි ප්‍රමාණයක් මීටර් 500 ක පමණ දුරක් මේ වන විට මුහුදට පිලිවී ඇත.


ස්ථීර ගල් වැටී යෙදීමක් තුළින් මුහුදු ඛාදනය වැළැක්වීමට හැකියාවක් ඇති බවත්,එසේ නොවුනහොත් අනාතයේ දිනක මුතුපන්තිය දූපත සිතියමින් මැකී යාමට ඉඩ ඇති බවද දූපත් වාසීන් කියා සිටී.