මුන්නේශ්වරම් දේවාලයේ කප් සිටුවීමේ පූජාව අද


(ඔගස්ටින් ප්‍රනාන්දු)

මුන්නේශ්වරම ශ්‍රී ඊශ්වරන් දේවාලයේ නිකිණි පූජා මහෝත්සවය වෙනුවෙන් කප් සිටුවීමේ පූජාව අද (17) දහවල් 12ට යෙදි තිබූ සුබ මොහොතින් උත්සවාකාරයෙන් යුතුව දේවාලය තුළදී සිදු කෙරුණි.

දේවාලයේ ප්‍රධාන පූජක එස්. පත්මනාභ කුරුක්කල්වරයාගේ ප්‍රධානත්වයෙන් හා දෙදහසකට වැඩි බැතිමතුන් පිරිසකගේ  සහභාගීත්වයෙන් මෙම කප් සිටුවීම සිදුකෙරිණි. හස්තියෙකු පිට තබා ගෙන පෙරහරකින් කප් ගස දේවාලය තුළට රැගෙන ආ අතර අනතුරුව සියලු  චාරිත්‍ර වාරිත්‍ර ඉටු කරමින් ආගමික වතාවත් වලින් අනතුරුව පැමිණි කප් සිටුවීම සිදු කෙරිණි.

අදින් (17) පසු දෛනිකව විවිධ පූජාවන් හා පෙරහැර පවත්වමින් මෙම නිකිණි මහෝත්සවය වර්ණවත් වන අතර සැප්තැම්බර් මස 13 වන දිනට යෙදී ඇති පුන් පොහෝ දින දහවල් 12ට හලාවත දැදුරු ඔයේදී දිය කැපීම සිදු කරණු ලබන අතර එම මස 15 වන දින රාත්‍රී 7ට මංගල උත්සවය පැවැත්වීමෙන් පසු මෙම නිකිනි මහෝත්සවය නිමාවට පත්වනු  ඇත.

මෙවර මෙම උළෙලට අති විශාල බැතිමකුන් සංඛ්‍යාවක් එකතුවනු ඇතැයි විශ්වාස කරනු ලබන අතර එසේ පැමිණෙන සියලු දෙනාගේ ආරක්ෂාව පිණිස පොලිසිය හා යුද හමුදා රැකවරණය ලබා දෙනු ඇත.