යාපන වෙඩි තැබීම හෙළා දකිති


(සිතුම් චතුරංග)

යාපනය මහාධිකරණ විනිසුරු මාණික්වාසගර් ඉලංචේලියන් මහතාගේ ආරක්ෂක නිලධාරීන්ට එල්ලකළ වෙඩි ප‍්‍රහාරය හෙළාදකිමින් වවුනියාව සිවිල් සංවිධාන ක‍්‍රියාකාරීන් ඇතුළු පිරිසක් වවුනියාව නගරයේ දී අද (25)  විරෝධතා පාගමනක නිරතවූහ.

විරෝධතාකරුවන් පවසා සිටියේ විනිසුරුවරුන්ගේ ආරක්ෂකයින්ට වෙඩිතැබීම තුළින් ඔවුන්ගේ ආරක්ෂාව පිළිබද ගැටළුවක් මතුවී ඇති බවත් රජය මැදිහත්වී විනිසුරුවරුන්ගේ හා නීතීඥයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කරන ලෙසත් ය.

උතුරේ කීර්තිමත් විනිසුරුවරුන් නිහඩ කිරීමට කිසියම් කල්ලියක් ක‍්‍රියාත්මක වන බවත් පොලිසිය මැදිහත්ව සැකකරුවන් නීතිය හමුවට ගෙන ආ යුතු බවත් විරෝධතාකරුවෝ පැවසූහ.

මීට සමගාමීව මන්නාරම , මුලතිව් , කිලිනොච්චිය හා යාපනය දිස්ත‍්‍රික්කවලද සිවිල් සංවිධාන විරෝධතා පැවැත්වීය.

වෙඩි ප‍්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වූ පොලිස් සැරයන් සරත් හේමචන්ද්‍ර මහතා වෙත හින්දු චාරිත‍්‍රාණුකූලව ඉටිපහන් දල්වා ආත්ම ශාන්තිය ප‍්‍රාර්ථනාකරණු ලැබීම මෙහිදී විශේෂත්වයක් විය.