යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපළ ජනතා අයිතියට



(සිතුම් චතුරංග)
 

ශ්‍රී ලංකාවේ තුන්වන ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වන යාපනය පලාලි ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්  අද(17)  ජනතා අයිතියට පත් කෙරිණ
             
ශ‍්‍රී ලංකා රජයෙන් රුපියල් මිලියන 1,950ක් සහ ඉන්දීය ආධාර වශයෙන් රුපියල් මිලියන 300ක වියදමින් මෙම ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ඉදිකර තිබේ.
           
යාපනය සහ චෙන්නායි අතර ප්‍රථම ගුවන් ගමන අරඹමින් එයාර් ඉන්දියා එලායන්ස් සමාගමේ VT-KRM අංක දරණ ගුවන් යානය චෙන්නායි සිට එරට ගුවන් නිලධාරීන් හා මගීන් කිහිපදෙනකු සමඟ අද පෙරවරු 10.00 ට යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළට පැමිණියේය.
           
ගුවන් තොටුපළ ගිනි නිවන ඒකකය විසින් ජල ආචාර පවත්වා යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළට පැමිණි ගුවන් යානය හරසරින් යුතුව පිළිගනු ලැබීය.
           
යාපනය ජාත්‍යන්තර ගුවන් ‍තොටුපොළේ දෛනික ගුවන් මෙහෙයුම් නොවැම්බර් මාසයේ  ආරම්භ කිරීමට නියමිත අතර ගුවන් තොටු‍පොළ අදියර තුනක් යටතේ ඉදි කිරීමට නියමිත බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය පවසයි.
           
1960 සහ 1970 දශකවල යාපනය සහ චෙන්නායි නගර අතර විනාඩි 45කින් යා හැකි ගුවන් සේවයක් තිබී ඇති අතර පසුව ත්‍රස්ත ක්‍රියා හේතුවෙන් එහි ගුවන් ගමන් හා සේවාවන් නවතා දමා ඇත. ආරක්ෂක අංශ විසින් ත්‍රස්ත ග්‍රහනයෙන් මුදා ගැනීමෙන් අනතුරුව යාපනය සහ කොළඹ අතර අභ්‍යන්තර ගුවන් ගමන් සඳහා පමණක් මෙම ගුවන්තොටුපළ යොදා ගැනිණි.
           
ගුවන්තොටුපොළෙහි එක් පර්යන්ත ගොඩනැගිල්ලක්, ගුවන් ගමන් පාලන මැදිරියක්, ගිනි නිවන ඒකකයක් සහ කාර්යාල ගොඩනැගිලි සංකීර්ණයක් ද මේ වන විට එහි ඉදි කර ඇති අතර,
එහි ධාවන පථය මීටර් 950 සිට මීටර් 1,400 දක්වා දීර්ඝ කිරීමට නියමිතය.
           
එහි පළමු අදියර යටතේ සතියකට ගුවන් ගමන් වාර තුනක් පමණක්  කිරීමට කටයුතු යොදා ඇති බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය පවසයි.
            
යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළ පරීක්ෂා කිරීම වෙනුවෙන් පසුගිය 15 වැනිදා ඉන්දියානු තාක්ෂණ ශිල්පීන් රැගත් ඉන්දියානු ගුවන් යාපනයක් යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.
 
ශ‍්‍රී ලංකාවේ ඉන්දීය මහා කොමසාරිස් තරන්ජිත් සිං සින්ධු මහතා, ප‍්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුණ රණතුංග මහතා, උතුරු පළාතේ දේශපාලන නියෝජිතවරු මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

(වීඩියෝ - රොමේෂ් මධුසංඛ)

ඡායාරූප - ඉන්දියන් එම්බසි ඇසුරෙනි