යුද හමුදා සාමාජිකයන්ට හමුදාවේ කුඹුරු වලින්ම සහල්


ශ්‍රී ලංකාව  සහල්වලින් ස්වයංපෝෂිත කිරීමේ  අරමුණින් ‘තුරු මිතුරු-නව රටක්’ හරිත ව්‍යාපෘතියට සමගාමීව පුරන් වූ කුඹුරු යළි අස්වද්දා ලබාගත් සහල් තොග සහනදායි මිල ගණන් යටතේ යුද්ධ හමුදා සාමාජිකයින් අතර බෙදාදීමට  යුද්ධ හමුදා කෘෂිකාර්මික හා පශු සම්පත් අධ්‍යක්‍ෂ මණ්ඩලය  පසුගියදා පියවර ගත්තේය.

ඒ අනුව  සහල් කිලෝ 25,000 ක් යුද්ධ හමුදා මූලස්ථානයේ දී යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයට ලබා දී  සිදු කෙරිණි.

පසුගිය  2019 ‘මහ’ කන්නයේ සහ 2020 ‘යල’ කන්නයේ දී ශ්‍රී ජයවර්ධනපුර යුද්ධ හමුදා මූලස්ථානයට යාබදව පිහිටි පුරන්වූ කුඹූරු සහ යුද්ධ හමුදා ගොවිපල වලට අයත් කුඹුරුවල ‘සුවඳැල්’ සහ ‘කළුහීනටි’ ආදී වී ප්‍රභේදයන් වපූරා පළිබෝධනාශක සහ රසායනික ද්‍රව්‍ය අවම වශයෙන් භාවිත නෙලාගත් මෙම අස්වැන්න යුද්ද හමුදා සමාජිකයින්ට සහනදායි ලෙස  ලබා දීමට කටයුතු කර තිබේ.

මෙම සහල් තොග  ආරක්‍ෂක සේනා මූලස්ථාන, පනාගොඩ යුද්ධ හමුදා ජනපදයේ පිහිටි රෙජිමේන්තු මධ්‍යස්ථාන සහ කැන්දලන්ද, මැනිං ටවුන්, රුක්මල්ගම, පානළුව, ජාවත්ත සහ වත්තල ප්‍රදේශයන්හී පිහිටි යුද්ධ හමුදා සේවා වනිතා ඒකක යටතේ පවත්වාගෙන යනු ලබන සුභ සාධක වෙළඳසැල්හි අලෙවි කිරීම යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් පරිදි සිදුකෙරේ.

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි සුජීවා නෙල්සන් මහත්මියගේ උපදෙස් මත යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය විසින් පවත්වාගෙන යනු ලබන සුභසාධන වෙළඳසැල් අතර එම සහල්  බෙදා හැරීම සඳහා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ඉන්ද්‍රජිත් කන්දනආරච්චි මහතා  විසින් මෙම සහල් තොගය ලබා දීම සිදු කළේය.

කෘෂිකර්ම හා පශු සම්පත් අධ්‍යක්‍ෂවරයා නියෝජනය කරමින් කන්දකාඩු 6 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් නිශාන්ත මුත්තන්ත්‍රිගේ මහතා විසින් යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය යටතේ ස්ථාපිත සුභසාධන වෙළඳසැල් වලින් යුද්ධ හමුදා සාමාජිකයින් වෙනුවෙන් අලෙවි කිරීමට මෙම සහල් තොගය සේවා වනිතා ඒකකයේ කර්නල් සුමේද බාලසුරිය සහ කර්නල් අරුණ විජේකෝන්  යන මහත්වරුන්ට නිල වශයෙන් භාරදුන්නේය.

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සංකල්පයකට අනුව මෙම ‘තුරු මිතුරු - නව රටක්’ හරිත ව්‍යාපෘතිය  සිදු කෙරේ.