රජගල පුරාවිද්‍යා භූමියේ කැණීම් යළි ඇරඹෙයි


වසන්ත චන්ද්‍රපාල

අම්පාර රජගලතැන්න ඓතිහාසික පුජාභුමියේ  ඓතිහාසික යුගය පිළිබඳව තොරතුරු තහවුරු කර ගැනීම සඳහා ආරම්භ කරන ලද කැණීම් වල දෙවෙනි අදියර පසුගියදා රජගලතැන්න පුරාවිද්‍යා භූමියේ  ඇති විශාලතම ලෙණ වන මහා ලෙණදි ආරම්භ කෙරිණ.

ශ්‍රි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය , පුරාවිද්‍යා දෙපාර්මේන්තුව  සහ ඉන්දියාවේ ඩෙකෑන් විශ්ව විද්‍යාලය ඒකාබද්ධව මෙම කැණීම් ආරම්භ කර තිබේ. මෙහි පළමු කැණිම 2016 වසරේ ආරම්භ කළ අතර එයින් තහවුරු වු කරුණු අනුව මෙම කැණිමේ දෙවෙනි පියවර ආරම්භ කෙරිණ.

සද්ධාතිස්ස රජුගේ පුත් ලජ්ජීතිස්ස රජු විසින් කරවා ඇති රජගලතැන්න පුරාවිද්‍යා භුමියේ පිහිටා ඇති මහා ලෙණේ ස්ථාන තුනක මෙම කැණීම් කර තිබේ මෙම කැණිම් වලදි මුල් කාලයේදී  මානවායා විසින් තමන් ගේ කටයුතු සදහා  එදිනෙදා භාවිතා කරන ලද ගල් ආයුධ යැයි විශ්වාශ කරන ආයුධ කිපයක් හමුවි තිබේ.එම ආයුධ නිෂ්පාදනයේදි ඉවත ලන යම් යම් සාධක අද වන විට ලැබෙමින් පවතීන බව ශ්‍රි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය,ඉතිහාසය සහ පුරාවිද්‍යා අංශයේ කථිකාචාර්‍යය ඉනෝජ් කෞශල්‍ය අබේනායක මහතා පැවසීය.

2012 රජගල පුරාවිද්‍යා භුමියේ කැණිම් ආරම්භ කළ අතර මෙහිදි ඉපැරැණි නටබුන් විශාල ප්‍රමානයක් හමුව තිබේ.මෙම කැණීම් වලදී පිලිම ගේ , ලහබද්ගේ(භික්ෂුන් වහන්සේලා දානයට පෙර හමුවු  ස්ථානය ), ජන්ඨාගරය(භික්ෂුන් වහන්සේලා  ඖෂධ පැන් ස්නානය කරන ලද ස්ථානය),දාන ශාලාව ,චෙත්‍යය දෙකක් බෝධිගරයක් හමුවි තිබේ.

රජගලතැන්න කන්දට නැගීම සඳහා පෙර රජ දවස පැවැති පෙත් මග ඒ අයුරින් ම සංරක්ෂණය කර ඇති අතර මේ වෙන විට සෙල්ලපි 80 ක් පමන සොයාගෙන තිබේ.මෙම පුජා භුමිය මුහුදු මට්ටමේ සිට අඩි 1035 ක් උසින් පිහිටා  තිබේ.දැනට රජගල පුරාවිද්‍යා භුමියෙන් ඓතිහාසික ස්ථාන 700 හදුනා ගෙන තිබේ.

මෙම පුජා භූමියේ  ඉදිරි කැණීම් වලදී තවක් වැදගත් වු සාධක සොයා ගැනීමට හැකිවන බව  ජයවර්ධන විශ්ව විද්‍යාලයේ ඉතිහාසය හා පුරාවිද්‍යා අංශයේ මහාචාර්‍යය පත්මසිරි කන්නන්ගර මහතා පැවසීය.

මෙම කාර්‍යය සඳහා පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජෙනරාල් පි.බි.මණ්ඩාවල මහතා ගේ අධීක්ෂණය යටතේ ජයවර්ධන විශ්ව විද්‍යාලයේ ඉතිහාසය හා පුරාවිද්‍යා අංශයේ මහාචාර්‍යය පත්මසිරි කන්නන්ගර ,මහාචර්‍ය කරුනාසේන හෙට්ටිආරච්චි,ආචාර්‍ය ඇලෙක්සෙන්ඩර් කපුකොටුව. නැගෙනහිර පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂක නිල්මල්ගොඩ  යන මහත්වරුන් ගේ මෙහයවිමෙන් මෙම කාර්‍යය සිදුවෙමින් පවතී.

මෙවර කැණිම් සදහා ඉන්දියාවේ ඩෙකෑන් විශ්ව විද්‍යාලයේ උපකුලපති පුරාවිද්‍යාඥ වසන්ත සිංදෙයි මහතා ඇතුලු නියෝජිතයින් පිරිසක්ද සහභාගි වි සිටිති.