රාජ්‍ය ඇමැති ඖෂධ කර්මාන්ත සංකීර්ණය බලන්න යයි


(රේඛා තරංගනී ෆොන්සේකා)

ඖෂධ නිෂ්පාදන නියාමන සහ සැපයුම් රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා අද (21) රත්මලානේ පිහිටි ඖෂධ කර්මාන්ත සංකීර්ණයේ නිරීක්ෂණ චාරිකාවකට එක්විය.

‍ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ සභාපති වෛද්‍ය උත්පල ඉන්ද්‍රවංශ මහතාගේ ආරාධනයකට අනුව අමාත්‍යවරයා මෙම චාරිකාවට සහභාගි විය.

රටට අවශ්‍ය විශාල මුදලක් වැය වන ඖෂධ කිහිපයක්ම රට තුළම නිෂ්පාදනය කිරීමේ අරමුණින් ක්‍රියාත්මක වැඩසටහන  පිළිබඳ සොයා බැලීමක් ලෙස මෙම නිරීක්ෂණ චාරිකාවට සඳහා එක්වූ බව අමාත්‍යවරයා පැවසීය.

ඉදිරි මාස 18 ක කාලයකදී ක්‍රියාත්මක කිරීමට නියමිත අධික වියදමක් යන ඖෂධ නිෂ්පාදනය සඳහා ප්‍රධාන සැකැස්ම මේ වන විටත් ක්‍රියාත්මක වී ඇති බව සඳහන් කළ  රාජ්‍ය අමාත්‍යවරයා විශේෂයෙන් පිළිකා රෝගීන් සඳහා ද ඖෂධ නිපදවීමට ඇති ඉඩ ප්‍රස්ථාව පිළිබඳව සොයාබලන බව මාධ්‍ය පැවසීය.

එමෙන්ම ඉදිරියේදී නව කර්මාන්ත ශාලාවක් ද ඖෂධ නිෂ්පාදනය වෙනුවෙන් ඉදිකිරීමට බලාපොරොත්තු වන බවද රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා වැඩිදුරටත් පැවසීය.