රුවන්වැලි සෑයේ නව චූඩා මාණික්‍යය මහජන ප්‍රදර්ශනයට


(ඩයනා උදයංගනී)

 

අනුරාධපුර රුවන්වැලි මහා සෑයේ පවතින පැරණි චූඩා මාණික්‍යය ඉවත් කර පළඳවන නව චූඩා මාණික්‍යය ජනතාවට දැක වැඳපුදා ගැනීම සඳහා අද (18) කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයෙහි තැන්පත් කෙරුණු අතර එය අනිද්දා (20) දිනය දක්වා ප්‍රදර්ශනය කිරීමට නියමිතය.  
               
රුවන්වැලි මහා සෑයේ පවතින වසර 80ක් පමණ පැරණි චූඩා මාණික්‍යය හා එහි රන් ආලේපිත පාදම මේ වන විට පලුදු වී ඇති බැවින් නව චූඩාමාණික්‍යයක් තැන්පත් කිරීමට අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස හිමියන් සහ රුවන්වැලි චෛත්‍යාරාමාධිකාරී පල්ලේගම හේමරතන හිමියන්ගේ උපදෙස් පරිදි පියවර ගෙන තිබේ.
               
ඒ අනුව  අලුතින් නිර්මාණය කළ මෙම රන් පාදම සහිත චූඩා මාණික්‍යය තවත් එය නිපදවූ විදේශීය සමාගමේ සිට මෙරටට වැඩම කරවා තිබේ.
               
නව චූඩා මාණික්‍යය ඉන් අනතුරුව අනුරාධපුරයට වැඩමවීමට නියමිත අතර අනතුරුව එය මහජනතාවට වැඳ පුදාගැනීම සඳහා රුවන්වැලි සෑ භූමියේ සුවිශේෂී කුටියක් ද තැන්පත් කෙරෙනු ඇත.
               
පසුව එය රුවන්වැලි මහසෑයේ පැළඳවීමට සුදුසු සුභ වේලාවක් සකස් කිරීම දෙස් විදෙස් ජ්‍යොතිර්වේදීන්ට පවරා ඇතැයි දැනගන්නට තිබේ.
               
එමෙන්ම රුවන්වැලි සෑයෙහි දැනට පවත්නා චූඩා මාණික්‍යය සහ පාදම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අවසර ලබාගෙන පෞරාණික වස්තුවක් ලෙස එම භූමියේම තැන්පත් කර මහ ජනතාවගේ වන්දනා මාන සඳහා විවෘත කිරීමට නියමිතය.
                

දියමන්තිවලට පමණක් දෙවැනි වන රොක් ක්‍රිස්ට්ල් නම්  පලිඟු පාෂණ සැපයීමේ සහ කැටයම් කිරීමේ කටයුතු සඳහා අංක එකේ ආයතනය ලෙස හැඳින්වෙන ඕස්ට්‍රේලියානු සමාගමක් හරහා ලබාගත් ඉතා වටින දුර්ලභ පලිගුවකින් මෙම චූඩා මාණික්‍යය නිර්මාණය කර ඇත්තේ ද එම ඕස්ට්‍රේලියානු සමාගම විසිනි.
               
එහි පාදම පිරිසිදු රත්‍රන් යොදාගෙන ලෝක ප්‍රසිද්ධ සිංගප්පූරු සමාගමක් මගින් නිර්මාණය කර ඇත.
               
මෙම රන් පාදම වෙනුවෙන් පිරිසිඳු රත්තරන් කිලෝ ග්‍රෑම් 28 කට වැඩි ප්‍රමාණයක් මෙන්ම හැඩ ගන්වන ලද ස්වාභාවික නිල්මැණික් සහ රතුමැණික් ගල් 4,300 ක් යොදාගෙන තිබේ.
               
රුවන්වැලි මහා සෑයේ ප්‍රතිසංස්කරණ කටයුතු මෙම දිනවල කෙරේ. නව චූඩා මාණික්‍යය තැන්පත් කිරීම ඇතුළු කටයුතු සිදුවන්නේ පුරාවිද්‍යා නිලධාරීන්ගේද අධීක්‍ෂණය යටතේ බුද්ධගයාවේ ද ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකර ඇති ‘විශ්ව පාරමී’ පදනම මගිනි.
               
අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස නා හිමියන්ගේ සහ රුවන්වැලි චෛත්‍යාරාමාධිකාරී පල්ලේගම හේමරතන නා හිමියන්ගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ මෙම කටයුතු සිදුකෙරේ.
 
(ඡායාරූප - ගයාන් අමරසේකර)