රේවත හස්තියාත් අලියාවැටුණු වැවේදී මරුට


(කුෂාන් ජයවර්ධන)

කලාවැව ජාතික උද්‍යානයේ තේජවන්තයා ලෙසින් විරුධාවලි ලත් රේවත හස්ථියා කැකිරාව අලියාවැටුණු වැව ප්‍රදේශයේදී අවාසනාවන්ත ලෙස මරැමුවට පත්ව තිබේ.

රේවත හස්ථියාගේ මළ සිරුර කැකිරාව අලියාවැටුණුවැව ප්‍රදේශයේ වගා බිමක වැටී තිබියදී ගනේවල්පොල වන සත්ව අඩවි කාර්යාලයේ නිලධාරීන් විසින් අද (09) පෙරවරුවේ සොයාගෙන තිබිණ.

ආහාර සොයා යනෙන අතරතුරදී අද අලුයම් කාලයේ රේවත මෙලෙස හදිසියේ අනතුරට ලක්ව මිය යන්නට ඇතැයි වනජීවී නිලධාරීහු පවසති. පෞද්ගලිකව ඉදිකළ විදුලි වැටකින් විදුලි සැරවැදීමකින් රේවත මෙලෙස මිය ගොස් ඇති බව වනජීවී නිලධාරීහු පවසති.

මියගිය රේවතගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද පස්වරුවේ අනුරාධපුර පණ්ඩුලගම වනජීවී පශු වෛද්‍ය චන්දන ජයසිංහ මහතා විසින් පවත්වා තිබූ අතර විදුලිසැර වැදිමෙන් එම ඇතා මිය ගොස් ඇති බව එහිදී අනාවරණය වී තිබේ. මිය ගොස් ඇත්තේ රේවත හස්ථියා බවට එහිදී වනජීවී නිලධාරීන් විසින් හදුනාගනු ලැබ තිබේ.  

මිය ගිය රේවත ඇතුන් 23 ක් පමණ වූ කලා වැව ඇත්පංතියේ සිටි සංචාරක ආකර්ශනය ඉහළින්ම දිනාගත් ඇතෙකි. කලාවැවේ තේජවන්තයා ලෙස විරුදාවලිය ළත් එම ඇතාගේ දඩබ්බර ගතිගුණ සංචාරකයන්ගේ වඩාත් ආකර්ශයට හේතුවී තිබිණ.

මිය ගිය රේවත උස අඩි 09 ක් පමණ වන වයස අවුරුදු 45 ක් පමණ වන ඇතෙකි. අඩි තුනහමාරක පමණ දළයුගයකටද මියගිය රේවත හිමිකම් කීය. කලාවැව හා රිටිගල යන ප්‍රදේශවල දී රේවත වැඩි වශයෙන් සංචාරකයන්ට දැක ගැනීමට හැකිවිය.

රේවත හස්ථියාගේ එම ඝාතනය සම්බන්ධයෙන් සිද්දිය සම්බන්ධයෙන් දැනට පුද්ගලයකු වනජීවී නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර එ‍ලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කැකිරාව අලියාවැටුනු වැව ප්‍රදේශයේම පදිංචි 48 හැවිරිදි පුද්ගලයෙකි. අත්අඩංගුවේ පසුවන ඔහු කැකිරාව දිසා මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව ගනේවල්පොල වනජීවී අඩවි කාර්යාලයේ නිලධාරීහු පවසති.

ගනේව්ලලොග වනසත්ව අඩවි ආරක්ෂක කාර්යාලය සිද්දිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශණ සිදුකරති.   

(ඡායාරූප - කුෂාන් ජයවර්ධන)

(ඡායාරූප - කාංචන කුමාර ආරියදාස)