ලාහුගල වනයේ අක්කර 15ක් වනසා ගංජා වගාකරලා


(කුමාර සී. ලියනආරච්චි)

අම්පාර දිස්ත්‍රික්කයේ ලාහුගල වනෝද්‍යානයේ අක්කර 15ක භූමිය ස්වාභාවික වනය විනාශ කර පවත්වාගෙන ගිය ගංජා වගාවක් අද(23) සොයාගැනීමට අම්පාර කොට්ඨාස දූෂණ මර්දන ඒකකය සමත්විය.
 
මෙම වගා භූමිය තුළ වගාකරුවන් ඒ වන විටත් පැන ගොස් තිබුණු අතර ඔවුන් විසින් දමා ගොස් තිබු මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සොයා ගැනිමට පොලිසිය සමත් විය.
 
අම්පාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජයන්ත රත්නායක මහතා වෙත ලැබුණ තොරතුරක් මත කොට්ඨාස දුෂණ මර්දන ඒකකයේ නිලධාරීහු පිරිසක් අම්පාර පන්නල් ගම බක්මිටියාව ගම්මානයේ ලාහුගල වනෝද්‍යානයට ඇතුළු වූහ. පොලිස් නිලධාරින් 50ක පමණ පිරිසක් විසින් එම ගංජා හේන විනාස කිරීම සඳහා අද අලුයම ලාහුගල සීමාවෙන් වනෝද්‍යානය වෙත පිවිස දිනක් තුල අක්කරයක පමණ ප්‍රමාණයක් විනාස කරල ලදී. මෙම ගංජා වගාව සඳහා එම පුද්ගලයන් විසින් වන උද්‍යානයේ ගස් 1500කට වැඩි ප්‍රමාණයක් කපා කොටා ගිනි තබා විනාස කර තිබිණි.
 
මෙම ගංජා හේන, නැගෙනහිර පළාතේ මෙතෙක් වගා කර පොලිසිය විසින් සොයා ගනු ලැබ ඇති විශාලතම ගංජා හේන ය. මෙම ගංජා හේන වගා කර ඇති අතර එම ප්‍රදේශය අලින්, වලසුන් ගහනව සිටින ප්‍රදේශයකි. එම භූමිය තුළ ඉතා වටිනා බුරුත, වීර, කළුවර, ඇතුළු ගස් මෙසේ කපා බිම දමා, ගිනි තබා වගා කර තිබේ.
 
අක්කරපත්තුව, සම්මන්තුරේ, කල්මුණේ, පොතුවිල් සහ කොළඹ ප්‍රදේශයන්ට ද ගංජා බෙදාහැරීම මෙම වගාකරුවන් විසින් සිදු කර ඇති බව අනාවරණය කරගෙන ඇත.