ලොව දෙවන විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය මත්තලට


(දිලීප් ජයසේකර)

 
දකුණු අප්‍රිකාවේ ජොහැන්ස්බර්ග් නුවර සිට ඇන්ටනෝ වර්ගයට අයත් ලොව දෙවන විශාලතම ගුවන් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය ඊයේ(12)රාත්‍රි 10.35 හා අසර්බයිජාන් හි සිට නාවික ඉංජිනේරුවරුන් තිදෙනෙකු රැගත් FXT 712 වර්ගයේ කුඩා ප්‍රමාණයේ ගුවන් යානය අද (13) අලුයම 12.20ට මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොලට පැමිණි බව  ගුවන් තොටුපොල ප්‍රධාන කලමණාකරු උපුල් කලංසුරිය මහතා පැවසීය.
 
වොල්ගා ගුවන් සේවයට අයත් ලොව දෙවන විශාලතම ගුවන් භාණ්ඩ ප්‍රවාහනය කරන ඇන්ටනෝ 124-100 නැමති ගුවන් යානය දින හතරක විවේකයක් සදහා සහ ඉන්ධන ලබා ගැනීම සදහා දකුණු අප්‍රිකාවේ ජොහැන්ස්බර්ග් නුවර සිට මත්තල රාජපක්ෂ ගුවන් තොටු පොල වෙත ගොඩ බා තිබේ.ගුවන් යානය ඊයේ (12) රාත්‍රි 10.35ට මත්තල රාපක්ෂ ගුවන් තොටු පොලට ගොඩ බෑම සිදු කෙරුණි.ගුවන් යානයේ කාර්ය මණ්ඩලයේ 13 දෙනෙකු පමණක් පැමිණ ඇත.
 
එහි පැමිණි සියලු දෙනා ගුවන් තොටුපොල පරිශ්‍රය තුළදීම පී.සී.ආර්.පරීක්ෂණයකට යොමු කිරීමෙන් පසු හම්බන්තොට හෝටල් කිහිපයක සිහිටි නවාතැන් පලවල් වෙත රැගෙන යාමට සිදු කෙරුණි.මෙම පිරිස හෝටල් තුළද වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින බවයි ගුවන් තොටු පොල කළමනා කරු පැවසුවේ.ගුවන් යානය නැවතත් 16 වෙනි දින පස්වරු 1.30ට මත්තල රාජපක්ෂ ගුවන් තොටුපොලේ සිට තායිලන්තයේ තපාවෝ බලා පිටත්ව යාමට නියමිතය.
 
මිට අමතරව අද (13) අලුයම අසර්බයිහිජාන් සිට තවත් නාවික ඉංජිනේරුවරුන් තිදෙනෙකු රැගත්  FXT 712 වර්ගයේ කුඩා ප්‍රමාණයේ ගුවන් යානයක්ද මත්තල ගුවන් තොටු පොලට ගොඩ බෑමට කටයුතු කෙරුණි.හම්බන්තොට ජාත්‍යන්තර වරායේ කාර්මික දෝෂයකට ලක්ව නවතා තිබෙන නෞකාවක අළුත් වැඩියා කටයුතු කිහිපයක් වෙනුවෙන් මෙම නාවික ඉංජිනේරු වරුන් තිදෙනා දිවයිනට පැමිණ තිබේ.දිවයිනට පැමිණි මෙම ඉංජිනේරුවරුන් තිදෙනාද ගුවන් තොටුපොල පරිශ්‍රෙය්දී පී.සී.ආර් පරික්ෂණයකට යොමු කිරීමෙන් පසු හම්බන්තොට වරාය වෙත රැගෙන යාම සිදුකෙරුණි.
 
වසර ගනනක් තිස්සේ වසා දමා තිබුණු මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොල වත්මන් රජය බලයට පත් විමත් සමග නැවතත් සක්‍රිය ගුවන් තොටු පොලක් බවට පත්ව ඇති බවත් මේ හේතුව නිසා විශාල ආදායමක් රටට ගලා එන බවත් ගුවන් තොටු පොල කළමණාකරු උපුල් කළංසුරිය මහතා පැවසිය.