ලොව ප්‍රථම ලේසර් වෙසක් තොරණ පුන් පොහෝදා සිට


ලේසර් තාක්ෂණය උපයෝගී කරගනිමින් නිර්මාණය කෙරෙන ලොව ප්‍රථම වෙසක් තොරණ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍ර‍ධානත්වයෙන් වෙසක් පුන්පොහෝ දින (10) පස්වරු 7.00 ට ගාලු මුවදොර දී මහජන ප්‍ර‍දර්ශනය සඳහා විවෘත කෙරේ.

වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ උපදෙස් මත නිර්මාණය කෙරෙන එම තොරණ 14 වැනිදා දක්වා මහජන ප්‍ර‍දර්ශනයට විවෘතව පවතී.  කොළොම්තොට වෙසක් කලාපය වරාය සහ නාවික අමාත්‍යාංශය, ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ වරාය බෞද්ධ සංගමය එක්ව සිව්වැනි වරට සංවිධානය කරයි.  

එහි  ප්‍ර‍ධානතම අංගය වන්නේ ගාලු මුවදොර පිටියේ ඉදිවෙන ලොව ප්‍රථම ලේසර් තාක්ෂණික වෙසක් තොරණ වේ. එහි උස අඩි 60 කි. පළල අඩි 40ක් වේ. දීපංකර බුදුන්ගෙන් නියත විවරණ ලබා ගැනීමේ සිට බුද්ධ පරිනිර්වාණය දක්වා වූ බුද්ධ චරිතය මෙම ලේසර් කිරණ තොරණේ කථා වස්තුවට පාදක වේ. 

ලේසර් තාක්ෂණය උපයෝගී කරගනිමින් නිර්මාණය කෙරෙන එම තොරණේ නිර්මාතෘ ආචාර්ය ප්‍ර‍භාත් චන්දිම උක්වත්ත මහතාය. පසුබිම් සංගීතය විමලජීව  දොඹවත්ත මහතාද, කතා වස්තුව දිමුතු චින්තක මහතාද ඉදිරිපත් කරයි.  රාත්‍රී කාලයේ අහසේ සිතුවම් වන මෙම තොරණ දෙස් විදෙස් බැතිමතුන්ගේ සුවිශේෂී අවධානයට යොමු වනු ඇතැයි ආචාර්ය ආචාර්ය ප්‍ර‍භාත් චන්දිම උක්වත්ත මහතා පවසයි.