ලොව වේගවත්ම ගුවන් යානය අත්හදා බලයි


ශබ්දයේ වේගය මෙන් පස් ගුණයක් වේගයෙන් ගමන් කළ හැකි ටැලොන්


(විමුක්ති එස් රුද්‍රිගු)

ලොව විශාලතම ගුවන් යානය ලෙස සැලකෙන ස්ට්‍රැටෝලොන්ච් රොක්, ප්‍රථම වරට ශබ්දයේ වේගය මෙන් පස් ගුණයක් වේගයෙන් ගමන් කළ හැකි ටැලොන් හයිපර්සොනික් පරීක්ෂණ යානයේ ආකෘතියක් රැගෙන ඉකුත් 28 වැනිදා සාර්ථක පියාසැරියක නිරත වී ඇත.

ස්ට්‍රැටෝලොන්ච් රොක් ගුවන් යානයේ පියාපත් අඩි 383 ක් වීම නිසා එය ලොව විශාලතම ගුවන් යානය ලෙස නම් කර තිබේ.

මෙය රොක් ගුවන් යානයේ 8 වෙනි පියාසැරිය වුවත් ටැලොන් හයිපර්සොනික් යානයක් සමග ගුවන්ගත ගත වූ ප්‍රථම අවස්ථාව විය. රොක් ගුවන් යානයේ පියාපත් මධ්‍යයේ ඇති කුළුණකට ටැලොන් හයිපර්සොනික් පරීක්ෂණ යානය සවි වී තිබුණි.ටැලොන් යානය ශබ්දයේ වේගය මෙන් පස් ගුණයකටත් වඩා වේගයෙන් ගමන් කළ හැකි භාණ්ඩ රැගෙන යාමට නිර්මාණය කර ඇති යානාවක් වන අතර එය දියත් කර යුත්තේ උඩු ගුවනේදීය.

මොහාවි කාන්තාරයට අඩි 23000 ක් ඉහළ අහසේ පැය 5 මිනිත්තු 6 ක කාලයක් ස්ට්‍රැටෝලොන්ච් රොක් ගුවන් යානය පියාසර කර ඇත. මෙම සාර්ථක පියාසැරියත් සමග ස්ට්‍රැටෝලොන්ච් රොක් ගුවන් යානය නිර්මාණය කිරීමේදී බලාපොරොත්තු වූ අරමුණු ඉටුකරගැනීමට හැකි වෙතැයි විශ්වාසයක් ඇති වූ බවත් මෙය ඉතාමත් වැදගත් සන්ධිස්ථානයක් බවත් දොස්තර සැකරි ක්‍රෙවර් ප්‍රකාශ කර ඇත.

මෙම සන්ධිස්ථානයත් සමඟ මීළඟ පියවර ටැලොන් යානය උඩු ගුවනේදී දියත් කිරීම අත්හදා බැලීම බව දොස්තර සැකරි ක්‍රෙවර් පැවසුවේය.

ලොව විශාලතම ගුවන් යානය ලෙස සැලකෙන ස්ට්‍රැටෝලොන්ච් රොක්