ලෝක කුසලානයේ රිදි ජූබිලය සමරයි


(ඩයනා උදයංගනී)

ශ්‍රී ලංකාව ක්‍රිකට් ලෝක කුසලානය ජයග්‍රහණය කර වසර 25ක් සපිරීම නිමිත්තෙන් හම කණ්ඩායම නියෝජනය කළ ක්‍රිකට් ශූරයින් ඇගයීමේ උත්සවයක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී අද (17) පැවැත්විණි.

අග්‍රාමාත්‍ය කාර්යාලය, තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එක්ව මෙම ජාතික සැමරුම් උත්සවය සංවිධානය කර තිබිණි.

1996 ලෝක කුසලානය දිනාගත් අවස්ථාවේ අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සලය (ICC) ක්‍රිකට් ශූරයන්ට පිරිනැමූ පදක්කම් මෙතරම් කලක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තබා තිබූ අතර ඒවා ක්‍රිකට් ශූරයන් අතට පත්කරමින් ඔවුන් වෙත ප්‍රදානය කිරීම අග්‍රාමාත්‍යවරයා අතින් මෙහිදී සිදුකෙරිණි.

ලෝක කුසලාන විජයග්‍රහණයේ 25වන සංවත්සර සැමරුම වෙනුවෙන් එළිදැක්වූ QR කේතය සහිත පළමු සැමරුම් මුුද්දරය හා විශේෂ සමරු කවරය තැපැල්පති රංජිත් ආරියරත්න මහතා විසින් ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට පිරිනමන ලද අතර එතුමා විසින් අග්‍රාමාත්‍යතුමාට සහ 1996 ලෝක කුසලානය දිනූ කණ්ඩායමේ නායක අර්ජුණ රණතුංග මහතාට එය පිළිගැන්වීය.

‍ලෝක කුසලාන ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ ‍‍අරවින්ද ද සිල්වා, රොමේෂ් කළුවිතාරණ, හෂාන් තිලකරත්න, චමින්ද වාස්, මුත්තයියා මුරලිදරන්, කුමාර ධර්මසේන, උපුල් චන්දන, මාවන් අතපත්තු ඇතුළු ක්‍රීඩයකින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.