ලෝක තැපැල් දිනය සැමරීමට මුද්දර 5 ක්


 ( ගයාන් අමරසේකර) 

ලෝක තැපැල් දිනයේ 51 වැනි සැමරුම වෙනුවෙන් ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව  නව මුද්දර 5 ක්  නිකුත් කිරීම තැපැල් මූලස්ථානයේ ශ්‍රවණාගාරයේදී  අද ( 09) සිදු කළේය.
 
146 වැනි තැපැල් දිනය  නිමිත්තෙන්  තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යාංශය මෙම උත්සවය සංවිධානය කර තිබිණි.
 
නිරෝධායන නීතිවලට අනුකූලව පවත්වන ලද මෙම චාම් උත්සවයේදී තැපැල් දිනය නිමිත්තෙන්  මුද්දර  නිර්මාණ ශිල්පී ඉසුරු චතුරංග මහතා  විසින් සිතුවම් කරන ලද මුද්දරයක් සහ ‘කොරෝනා පරදා නැගී සිටිමු‘ මැයෙන් පාසල් සිසුවියන් වන සංජානා ලහිරුණි ගුණතිලක සහ කෞෂල්‍යා නයනමාලි හේවාවසම්, කසුනි උමයංගා ද සිල්වා සහ මුද්දර නිර්මාණ ශිල්පී සුදත් ජයවර්ධන මහතා විසින් සිතුවම් කරනලද මුද්දර හතරක් ඇතුළත්   මුල්දින කවරයක් හා සමරු පත්‍රිකාවක් නිකුත් කෙරිණි.
 
එම මුල්දින කවරය එම් එම් පබෝධා හංසනී සහ සිහිවටන පත්‍රිකාව ඉෂිණි ධනංජනා වීරසිංහ විසින් නිර්මාණය  කරනලදි.
 
මෙම අවස්ථාවට ජනමාධ්‍ය  අමාත්‍යංශයෙ ජගත්  පී හේරත් ,මුද්දර කාර්යාංශයේ අධ්‍යක්ෂ   ශාන්ත කුමාර මීගම,තැපැල්පති රංජිත් ආරියරත්න යන මහත්වරු සහභාගීවූහ.