වගා ළිදේ සිරවී සිටි ඇත්පැටවකු සමග ඇතින්නියන් දෙදෙනෙකු බේරාගනී


උපුල් තම්මිට

අනාරක්ෂිත වගා ළිඳකට ඇදවැටී සිටි වයස අවුරුදු එකහමාරක කුඩා ඇත්පැට‍වෙක් සමග ඇතින්නියන් දෙදෙනෙකු නිරුපද්‍රිතව බේරා කැලයට මුදා හැරීමට රිටිගල වනජීවී කාර්යාලයේ නිලධාරීහු පිරිසක් අද (07) සමත්වූහ.

ගලෙන්බිදුනුවැව පඩිකාරමඩුව ගම්මානයට නුදුරු හුරුලු රක්ෂිතයට අයත් බමුනුත්තුව කැලෑවේ අතහැර දමන ලද වගා ළිදකට මෙම අලින් තිදෙනා ඇද වැටී ඇති අයුරු පළමුවෙන්ම දැක ඇත්තේ බමුනුත්තුව ගම්මානයේ වැසියෙකු විසින්ය.

උදෑසන ගව පාළනය සදහා කැලයට ගිය අවස්ථාවේ මේ බව දුටු වහාම රිටිගල වනජීවී නිළධාරීන් දැනුවත් කිරීමත් සමග රිටිගල වනසත්ව අඩවි ආරක්ෂක කුමාර හේරත් මහතා ප්‍රමුඛ නිළධාරීන් පිරිසක් එම ස්ථානයට පැමිණ පළමුවෙන්ම ස්ථානීය පරීක්ෂණයක් සිදුකරනු ලැබීය.

පවතින නියගය සහිත කාලගුණය හේතුවෙන් ජලය සොයා ගමන් කිරීමේදී මෙම අකරතැබ්බයට මෙම අලි තිදෙනා මුහුණ දී ඇති අතර අද අලුයම් කාලයේදී මෙලෙස අනාරක්ෂිත වගා ලිදට ඇද වැටී ඇතැයි තහවුරු කලේය.

වගා ළිඳට වැටී සිටි ඇතින්නියන් දෙදෙනා කුඩා ඇත්පැටවා මනුෂ්‍යන්ගෙන් වසන් කිරීමට බලවත් උත්සාහයක් දරන අයුරු මෙහිදී දක්නට ලැබිණි.

වනජීවී නිලධාරීහු බැකෝ යන්ත්‍රයක් රැගෙනවිත් ඉතාම ප්‍රවේශමෙන් වගාලිදේ ඉවුරු බිද නිරුපද්‍රිතව අලින් තිදෙනා හුරුලු රක්ෂිතයට මුදා හැරීමට කටයුතු කළහ.

පසුව එම වගා ළිද නැවත වරක් මෙවැනි අකරතැබ්බයන් හට මුහුණ දීමට සිදුවන වනසතුන් ආරක්ෂාකාරී නැවත ගොඩඒමට හැකිවන පරිදි ඉවුරු සකස් කරනු ලැබීය.

රිටිගල වනජීවී කාර්යාලයට අනුයුක්තව සේවය කරන වනසත්ව අඩවි ආරක්ෂක කුමාර හේරත් මහතාගේ අධීක්ෂනයෙන් වනසත්ව නියාමක වරුන් වන  දිල්ෂාන්, රොෂාන් හා සිවිල් ආරක්ෂක විමලතුංග යන නිළධාරීන් විසින් මෙම මෙහෙයුම ක්‍රියාත්මක කරනු ලැබීය.