වන අලි 13දෙනෙක් පැණි කොමඩු වගාව වනසති


(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
 
කරුවලගස්වැව මුරියාකුලම ගම්මානයේ පැණි කොමඩු වගාවකට අද (16) කඩා වැදුණු වන අලි රංචුවක් වගාව වනසා දමා ඇතැයි වගාකරුවෝ පවසති.
 
අක්කර දෙකකට ආසන්න මෙම පැණි කොමඩු වගාවට 13දෙනෙකු සහිත අලි රංචුව කඩා වැදී ඇති බවත්, ඉඩම වටා සකසා තිබූ විදුලි අලි වැටට කොහොඹ ගසක අත්තක කඩා දමා ඇතුළු වී ඇති බවත් ඔවුහු පෙන්වා දෙති.
 
ගම්වාසීන් විශාල පිරිසක් එක් වි දැඩි පරිශ්‍රමයක් දරා අලි රංචුව එළවා දැමූ බවත්, ඒ හේතුවෙන් එහි කොටසක් බේරි ඇති බව ද ඔවුහු කියති.

කොමඩු වගාවේ  හිමිකාරියක වන යමුනා කුමාරි මහත්මිය මෙසේ පැවසුවාය.
 
“මගේ ලොකු දුවලායි මේ කොමඩු වගා කළේ. දුවයි එයාගේ මහත්තයායි බැංකුවලින් ණය අරගෙනයි අලි වැට ගහලා වගාව පටන් ගත්තේ. නමුත් ඒ වැට උඩට ගස් අතු කඩන් ඇවිත් දමලා තමයි වගාවට ඇතුළු වෙලා මේ හානිය කරලා තිබෙන්නේ. අස්වැන්න නෙළන්න ඉතිරිවෙලා තිබුණේ තව දින කිහිපයයි” යැයි ඇය කීවාය.