වන අලි 20 ක රංචුවක් කොට්ටුකච්චිය වගාබිමක් වනසති


(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
 
වන අලි 20ක රංචුවක් කොට්ටුකච්චිය වගා බිමකට කඩා වැදී පොල් ඇතුළු වගාව සියල්ල විනාශ කර ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.
 
මෙම වන අලි, ආණමඩුව කොට්ටුකච්චිය ජලාශය ආසන්නයේ රැඳී සිටින අලි රංචුවක් බවද ඔවුහු කියති.
 
ඉඩමේ වගා කර තිබූ පොල්, කෙසෙල් ඇතුළු භෝග කිහිපයක් අද(25) අලුයම පැමිණි වන අලි වනසා දමා ගොස් ඇති බව හිමිකරුවෝ කියති.
 
ඉඩමේ හිමිකරුගේ බිරිඳ වන එම් මයුරි ප්‍රිතිකා මහත්මිය මෙසේ පැවසුවාය.
 
“අපි බොහෝම අමාරුවෙන් ලක්ෂ හයක් විතර වියදම් කරලා මේ ඉඩම සකස් කර ගත්තේ. අවුරුදු දෙකක විතර පොල් පැළ 50 ක් විතර විනාශ කරලා දාලා. ඒ මදිවට පොල් කඩන ගස් 10 ක් විතරත් කඩා දාලා. කෝලිකුට්ටු ගස් 100 ක් මුලින්ම වනසලා. පුදුම දුකක් විඳලා ඉඩම හදාගත්තේ. සියල්ලම වනසලා දාලා” යැයි කීවාය.
 
ඉඩමේ හිමිකරු වන කේ. බී. රේක්සි රෝලන්ඩ් මහතා මෙසේ පැවසීය.
 
“ මම මේ ඉඩම හදා ගත්තේ ලොකු වියදමක් කරලා. අසල්වැසියන්  වැඩි දෙනෙක් ගොවිතැන් කරන්නේ නැහැ අලි කරදරය කියලා. මම වත්ත වටේටම අලි අගල් ගහලා තිබ්බේ. සල්ලි මදි නිසා ඉස්සරහා අලි වැටක් හදා ගන්න ප්‍රමාද වුණා. මේ අලි ප්‍රශ්නය වන ජීවී කාර්යාලයට කිව්වාම එයාලා කියන්නේ ස්ථිර විසඳුමක් නැහැ කියලායි. අපි අන්ත අසරණ කරලා” යැයි ඔහු සඳහන් කළේය.