වරායට එන ආයෝජකයන්ට සියලු පහසුකම් එකම තැනකදී


(යොහාන් භාසුර)

හම්බන්තොට වරයාට එන දෙස් විදෙස් ආයෝජකයන්ට එකම ස්ථානයකින් සියලු පහසුකම් සැලසීමේ (සුහුරු) මධ්‍යස්ථානය හම්බන්තොට ජාත්‍යන්තර වරාය පරිශ්‍රය තුළ විවෘත කර ඇත.

රටට ඩොලර් ආදායම උපදවාලීමට හැකි ආයෝජකයන් වැඩි වශයෙන් ආකර්ෂණය කරගැනීම සඳහා සිත්ගන්නාසුලු සේවාවන් සැපයීමට, හම්බන්තොට ජාත්‍යන්තර වරාය පරිශ්‍රයේ කර්මාන්ත අමාත්‍යාංශය ස්ථාපනය කළ ආයෝජකයන්ට එකම ස්ථානයකදී කර්මාන්ත සඳහා අවශ්‍ය සියලු අනුමැතීන් සහ අදාළ පහසුකම් ලබාගැනීමේ ක්‍රමවේදය සහිත ශ්‍රී ලංකාවේ ප්‍රථම ස්මාර්ට් කාර්යාල පරිශ්‍රය ඉවහල් වනු ඇතැයි කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා එම කාර්යාලය විවෘත කිරීමෙන් පසුව පැවසීය.

මෙහිදී මෙම පහසුකම් සැපයීමේ මධ්‍යස්ථානය වත්වාගෙන යාම පිළිබඳව කර්මාන්ත අමාත්‍යාංශය යටතේ පවතින ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය සහ හම්බන්තොට ජාත්‍යන්තර වරාය ආයතන ගිවිසුමකට අස්සන් තැබීය.

හම්බන්තොට ජාත්‍යන්තර වරාය ආයතනයේ ප්‍රධාන විධායක ජොන්සන් ලියූ, කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජෙනරාල් දයා රත්නායක, අතිරේක ලේකම් (කර්මාන්ත සංවර්ධන) චමින්ද පතිරාජ සහ ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති උපසේන දිසානායක ඇතුළු නිලධාරීහු පිරිසක් ද මේ අවස්ථාවට සහභාගි වූහ.