වාන් ජලයේ ගිලී ඉණිමඟෙන් ගොඩවී පාසල් යන දරුවෝ


(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
 
පාඩියමඩුව වැවේ වාන් ජලය, කොහොඹගස්වැව පාලම අසළින් ගලායාම හේතුවෙන් පාලමේ ඉදිරිකිරීම් අතරමග නවතා දමා ඇතැයිද, ආණමඩුව, ආඩිගම - මහකුඹුක්කඩවල මාර්ගයේ ගමනාගමන කටයුතු දින තුනක සිට සම්පූර්ණයෙන් නතරවී ඇතැයිද ජනතාව පවසති.
 
පසුගිය අප්‍රේල් 25 දින මෙම පාලමේ ඉදිකිරීම් ආරම්භ කර ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 239 ක් වැය කර ඇත. පාලමේ කටයුතු මාස තුනකින් ඉදිකර අවසන් කළ යුතු වුවද මේ වන විට එහි කටයුතු සම්පූර්ණයෙන්ම නවතා ඇතැයි ජනතාව පවසති.
 
මේ හේතුවෙන් ආඩිගමට පැමිණෙන බොහෝ පිරිසකට සිදුව ඇත්තේ ආණමඩුවට ගොස් කිලෝමීටර් 25 කට අධික දුරක් ගෙවා යාමට බව ඔවුහු කියති.
 
මේ පිළිබඳව අදහස් දක්වමින් සිටි ඩබ්. එම්. දයාරත්න මහතා මෙසේ පැවසීය.
 
“මේ පාලම ඉදි කිරීම අත්‍යවශ්‍ය කරුණක්. නමුත් මේ වන විට මාස තුනකින් කරන්න කියපු පාලම මාස හයක් අවසන් වෙලාත් අවසන් වෙලා නැහැ. මහ වැසි නිසා මාර්ගය සම්පුර්ණයෙන් ගමනාගමන කටයුතු නැවතිලා. පූනවිටිය ප්‍රාථමික පාසලට යන දරුවන් අඩි 10 විතර උස පාලමට ඉණිමඟේ නැගලා ආයෙ අනිත් පැත්තෙන් බැහැලා යන්නේ බරපතල අනතුරු දායක තත්වයක් එක්ක”
 
මහකුඹුක්කඩවල  ප්‍රාදේශීය ලේකම් දුලන්කා අතුකෝරාළ මහත්මියගෙන් මෙසේ පැවසුවාය.
 
“පළාත් මාර්ග සංවර්ධන දෙපාර්තුමේන්තුවත් වයඹ පළාත් සභා අමාත්‍යංශයත් තමා මේ පාලමේ කටයුතු කරන්නේ. මේ දිනවල පවතින තත්වය ජනතාව මට දැනුම් දුන්නා. පාසල් දරුවන් පවා පාලම උඩින් අසීරුවෙන් යනවා කියලා දැනගන්න ලැබුණා. නමුත් අදාළ ආයතන දැනුවත් කිරීම මිස  වෙනත් දෙයක් කරන්න මට හැකියාවක් නැහැ”
 
මෙම පාලමේ අනතුරු දායක තත්වය බලධාරීන් නොසලකා හැරීමත් සමඟ තම ජීවිත අවදානමක ඇති බව ජනතාව කියාසිටිති.