වාසනා හස්තියා සුභ මොහොතින් යදමින් මිදෙයි


 

(කේ. ඩී. දේවප්‍රිය)

 මාස 4 ක කාලයක් සිට ගස් බැඳ තැබූ,  රුහුණු මහා කතරගම දේවාලයේ වාසනා හස්තියා සුභ මොහොතින් යදම් වැල්වලින් මුදවා කඳ සුරිඳුගේ පෙරහැර මංගල්‍ය සඳහා සුදානම් කරවීම අද (13) සිදුවිය.

 
කතරගම දෙවියන්ගේ පෙරහැරට එක් වන අලි ඇතුන්ට ද විශේෂිත වූ ගරුත්වයක් සමාජයෙන් ලැබෙයි. බැතිමතුන් මෙම අලින්ට කෑම බීම දීම මඟිනුත්, අලි ඇතුන් අතපත ගෑම මඟිනුත් ඔවුන්ට ආශිර්වාදයක් ඇති බව දැනෙන බැවින්  කතරගමට එන කවුරුත් වාසනා හස්තියා ප්‍රමුඛ අලි ඇතුන්ට කෑම බීම දීමට හුරුව සිටිති.
 
කතරගම දේවාලයේ ඇසළ  මාසයේ  පැවැත්වෙන පෙරහැර මංගල්‍යන්  හැම එකකදීම දෙවියන් වැඩම වන්නේ වාසනා හස්තියාය. මෙම වාසනා හස්තියාටත් දෙවියන්ගේ පින්  බලයෙන් දැඩි සත්කාර බුහුමන් නොඅඩුව ලැබේ.වාසනා මංගල කුළයෙන් එන ඇත් රාජයෙකි. උපන් ප්‍රදේශය අනුරාධපුරයයි. දැනට අවුරුදු 45 කි. දළ යුගල අඩි දෙක හමාරකි. ආසියාවේ සිටින හීලෑ ඇතුන් අතරින් විශාලම හස්තියකු වන වාසනා 1978 දි  විමලා කන්නංගර මහත්මිය විසින් දේවාලයට පුජා කරනු ලැබීය. වාසනා හස්තියා වසර 45 ක් පුරාවට දෙවියන් වැඩමවීම සිදුකරමින් පවතී. වනයේ සිටින අලි ඇතුන් මෙන්ම වාසනා ප්‍රමුඛ දේවාලයේ අලි ඇතුන් ද කම්බුල් තෙමීම නම් රෝගයට වසරකට වරක් ලක්වෙති.
 
මෙම අවස්ථාව ඉතාම අලංකාරවත්ව සිදු කරනුයේ මඟුල් ගෙදරක සිරියක්  මවා පාමිනි.  අලි ඇතුන්ට වසරකට වරක් වැළදෙන කම්මුල් තෙමීමේ රෝගය හෙවත් මද කිපීම වාසනා හස්තියාටද වසරකට වරක් සිදුවනඅතර එම අවස්ථාවේදී ඇතා පිස්සකු මෙන් හැසිරෙයි.  මෙම හේතුව මත ඇතා මාස කීපයක් ගසක බැඳ දමා සාත්තු සප්පායං කරමින් රැක බලා ගන්නා බවත් වාසනා හස්තියා රැක බලා ගන්නා ඇත් ගොව්වා වන අජිත් අසෝක ලියනගේ මහතා පැවසීය.

ඇතා ගසින් ලිහන අවස්ථාවේ දි කතරගම කිරිවෙහෙර විහාරාධිපති රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක පුජ්‍ය කොබවක ධම්මින්ද හිමියෝ පැමිණ සෙත් පිරිත් කියා පිරිත් පැන් ඉස ඇතාට ආශිර්වාදය කරති. රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ දිල්රුවන් රාජපක්ෂ මහතා වාසනාට රසකැවිළි ලබා දී සංග්‍රහ කිරීමේ චාරිත්‍රය ඉටුකිරීමද අපූර්ව දසුනකි.
 
ඇතා ඉදිරිපිට කිරි මුට්ටියක් උතුරවාලීමෙන් පසුව බැඳ තැබු යදම් ගලවා ඇතා නහවා කැවුම් කිරිබත් පළතුරු ආහාරයට ලබා දෙයි. පැමිණ සිටි සැමට අලි වාඩියේ භෝජන සංග්‍රහයක්ද සංවිධානය කරනු ලබන අතර සැවොම කැවුම් කිරිබත් කා ඇත් ගොව්වාට මුදල් තෑගි ද ලබා  දෙති.
වාසනා හස්තියා දෙවියන් වැඩම වන අතර කිසිදු කලබලයක් නොදක්වන හස්තියෙකි. 1989 දී කතරගම පෙරහැරට බෝම්බ ගැසූ අවස්ථාවේ දී ඇතුටත් තුවාල සිදුවිය. එහෙත් දෙවියන් වැඩම වු කරඬුවට කිසිදු හානියක් නොවන අයුරින් ඇතා දේවාලය වෙත තනියම පැමිණියේය. වාසනා කිතුල් හකුරු කෑමට ප්‍රියතාවයක් දක්වයි. මෙම ඇතා තවමත් කිසිදු අයකුට අනතුරක් කර නොමැත.
 
අද පැවති මෙම අවස්ථාව සදහා කතරගම කිරිවෙහෙර රාජමහා විහාරාධිපති පුජ්‍ය කොබවක ධම්මින්දහිමි, රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිළමේ දිල්රුවන් රාජපක්ෂ, කතරගම දේවාලයේ කපුමහතුන් වන ලලිත් ටී රත්නායක, පියුෂාන් රත්නායක යන මහතුන් ඇතුලු දේවාල කාර්ය මණ්ඩලය එක්ව සිටියහ.