වැදි බණ දෙසූ තරුණ හිමිවරු මහ නා හිමිට වැඳ සමාව ගනිති


(ජේ.ඒ.එල්. ජයසිංහ - තෙල්දෙණිය චන්දන උඩුවාවල)

බුදුන්වහන්සේගේ ධර්මය විකෘති කරමින් දේශන පැවැත්වීම, බුදුන්වහන්සේට අපහාස කිරීම, බුද්ධ දර්ශනයට නිගාදෙන අන්දමින් කටයුතු කිරීම යන චෝදනාවලට ලක්ව සිටි තරුණ භික්‍ෂූන්වහන්සේ සිවු නමක් තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල, මල්වතු පාර්ශවයේ මහ නා හිමියන් ප්‍රමුඛ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභාව හමුවේ නැවත එවැනි වැරදි නොකරන බවට  පොරොන්දුවී වැඳ සමාව ගත්හ. 

තමන් කළ වරද පිළිගෙන මෙසේ සමාව අයැද සිටියේ දිඹුල්කුඹුරේ උදිත රතන, හඳපාන්ගොඩ නිවාතාප,  බත්තරමුල්ලේ අමාදස්සන සහ වස්සක ධම්ම යන හිමිවරුන් සිවුදෙනාය. මින් ඉදිරියට එවැනි වැරදි නොකරන ලෙස තරයේ අවවාද කර ඇති මල්වතු පාර්ශවයේ මහානායක හිමියන් හා අනුනාහිමියන් ඇතුළු ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභාව මින් පසුවද බුදු දහම විකෘති වන අන්දමට අසත්‍ය දේශන පැවැත්වුවහොත් මෙම භික්‍ෂූන් වහන්සේ සිවුදෙනා භික්‍ෂූත්වයෙන් නෙරපා දමන බවට ද දැඩිව  අවවාද කර ඇත.


මල්වතු මහා විහාරයට ගොස් තමන්ගෙන් සිදුවී ඇති වැරදිවලට සමාව ලබාදෙන ලෙස ඉල්ලා ඇති මෙම භික්‍ෂූන් වහන්සේලා සිවුනම මින් ඉදිරියට ශාසනයට ආරක්‍ෂා කරමින් ත්‍රිපිටකයට අනුකූලව ධර්ම දේශනා සිදුකරන බවට ද මහානායක හිමියන් ප්‍රමුඛ කාරක සංඝ සභාව හමුවේ ප්‍රතිඥා දී ඇත.


මල්වතු අනුනායක දිඹුල්කුඹුරේ විමලධම්ම, මල්වතු විහාර පාර්ශවයේ වැඩබලන ලේඛකාධිකාරී ආචාර්ය පහමුණේ ශ්‍රී සුමංගල යන හිමිවරු මෙහිදී චෝදනාවට ලක්වූ භික්‍ෂූන් වහන්සේ සිවුනමට අවවාද අනුශාසනා කරමින් බුදු දහම විකෘතිවන අන්දමට බෞද්ධ මහජනතාවට වැරදි ධර්ම දේශනා නොකරන ලෙසත්, ත්‍රිපිටකයට, අනුකූලව සංඝ විනය ආරක්ෂා කරමින් ශාසනික කටයුතුවල යෙදෙන ලෙසටත් පැවසූහ. 

පාර්ශවයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික හිමිවරුද සහභාගී වූහ.