විල්පත්තුවේ දිවි සටනින් දිවියෙක් මරුට



සංජය මදුශාන් 
 
විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ දිවියන් දෙදෙනෙකු අතර ඇති වූ දරුණු සටනකින් පසු එක් දිවියෙකු මියගොස් ඇතැයි වනජීවි නිලධාරීහු පවසති.


ජාතික වනෝද්‍යානයේ තම්මැන්නාවල ප්‍රදේශයේ තිබී අවුරුදු 3 ක් පමණ වයසැති මියගිය දිවියාගේ සිරුර සොයාගෙන තිබේ. 
මියගිය දිවියා පිරිමි සතෙකු වන අතර දිවියාගේ ගෙල ප්‍රදේශයේ ඉතා තදින් වැදුණු දත් පහරවල් කිහිපයක් දක්නට ඇති අතර  ශරීරයේ සපා කෑම් කිහිපයක් ද ඇති බවත් වනජීවි නිළධාරීහු පවසති. 


උද්‍යාන බාරකාරු චමත් ලක්ෂ්මන් මහතා මෙසේ පැවසීය. අපි 15 වැනි දා රාත්‍රීයේ දී උද්‍යානය තුළ සිදු කළ සං‍චාරයකදී රාත්‍රී 8 ට පමණ පැටවා මියගිය ස්ථානයට මීටර 200ක් පමණ නුදුරින් දැකගන්නට ලැබිණි. 


පසුව රාත්‍රීයේ දී හෝ අලුයම කාලයේදී තමා සටන ඇති වෙලා තියෙන්නේ.තම්මැන්නාවල ප්‍රදේශයේ මවක් හා පැටවුන් දෙදෙනෙක් වාසය කළා.මියගිය දිවියා ඉන් එක් පැටවෙක් බව අපි සැකකරනවා.


ස්වෙච්චා සංවිධානයක් මගින් දින 40 ක් පුරාවට කැමරා භාවිතයෙන් සිදුකළ සමීක්ෂණයක දී මෙම දිවියා මියගිය ප්‍රදේශයේ ම තවත් විශාල දිවියන් දෙදෙනෙකුගේ ගැවසීම් නිරීක්ෂණය වූ බවත් එම විශාල දිවියකුගේ පහර දීමකින් මියගොස් ඇති බව චමත් මහතා වැඩිදුරත් පැවසීය.


මියගිය දිවියාගේ දේහය පසුව වනජීවි නිළධාරින් විසින් රැගෙන ගොස් ඇති අතර මියගිය දිවියාගේ මරණ පරීක්ෂණ කටයුතු අනුරාධපුර ප්‍රදේශය බාර පශු වෛද්‍ය නිලධාරි චන්දන ජයසිංහ මහතා විසින් සිදුකර තිබේ.