ශ්‍රී ලංකාවේ පළමු දියයට කෞතුගාරය විවෘත වේ


 

(ඩයනා උදයංගනී) 

මෙරට පළමු දියයට කෞතුකාගාරය දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනා ගත් ගාල්ල මුහුදු තීරයේ ඉදිකර තිබේ.
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ගාල්ල මුහුදු තීරයේ ගාලු වරාය තුළ අඩි 50ක් පමණ ගැඹුරට වන්නට දිය යට ඉදිකළ මෙම කෞතුකාගාරය නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා අතින් පසුගියදා විවෘත කෙරිණි.

කිමිදුම් විශේෂඥයකු වන නාවික හමුදාපතිවරයා දිය යටදී පීත්ත පටිය කපා කෞතුකාගාරය විවෘත කිරීම ද නැවුම් අත්දැකීමක් විය.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ අදහසකට අනුව නාවික හමුදාපතිවරයාගේ පූර්ණ අධීක්ෂණය යටතේ මෙම කෞතුකාගාරය ඉදිකර තිබේ.

ගාලු මුහුදු තීරය කේන්ද්‍ර කරගනිමින් මෙම කෞතුකාගාරය ඉදිකර ඇති අතර සිමෙන්ති හා පරිසර හිතකාමී ද්‍රව්‍යවලින් කළ නිර්මාණ මෙහි ස්ථාපිත කිරීමට නාවික හමුදාව කටයුතු කර ඇත.

 එසේම කාලයත් සමඟ මෙහි කොරල් පරිසර පද්ධතියක් නිර්මාණය වී එහි අලංකාරය තවත් වර්ධනය වනු ඇතැයි බලාපොරොත්තු වේ. කිමිදුම් හෝ පිහිනුම් කටයුතු කරන ඕනෑම පුද්ගලයෙකුට පහසුවෙන් නිරීක්ෂණය කළ හැකි පරිදි මෙම කෞතුකාගාරය නිර්මාණය කර තිබේ.

භාවිතයෙන් ඉවත් කළ දුම්රිය මැදිරි, ධීවර යාත්‍රා මෙම කෞතුකාගාරය සඳහා යොදා ගැනීමට ප්‍රථමයෙන් තීරණය කළ ද කෙටි කාලීනව ඒවා රැස්කර ගැනීමේ අපහසුව නිසා විවිධ ප්‍රතිමා සහ සමරු පලක යොදා ගනිමින් එය ඉදිකළ බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.

සාගර කොරල්පර නැවත වර්ධනය කර ගැනීම, මත්ස්‍ය සම්පත වර්ධනය කරගැනීම ද මෙය ඉදිකිරීමේ අරමුණු අතර වේ. මෙම ප්‍රදේශයේ මේ වන විටත් මත්ස්‍ය අභිජනනය ආරම්භ වී ඇති නිසා සංචාරකයන්ට ඉතා නුදුරු කාලයේදී මෙම ප්‍රදේශයේ කිමිදුම් කටයුතු කිරීමේ අවස්ථාව හිමිවනු ඇතැයිද නාවික හමුදාව සඳහන් කරයි.

මෙහි මූලික අවධියේදී ධිවර කටයුතු කිරීමට ඉඩක් නොදෙන අතර මතස්‍ය අභිජනන කටයුතු සිදුවීමෙන් අනතුරුව ධීවරයින්ට එහි නිසි ඵල නෙලාගැනීමට හැකිවනු ඇතැයි ද නාවික හමුදාව පවසයි.